Monday, November 21, 2011

අධිවේගේ රවුමක්.


හෆ්ෆා.. මේකෙ යන්න ගහපු ප්ලෑන් ටික නම් කියල ඉවර කරන්නත් අමාරුයි. 19, 20 දවස් දෙකේ ඕනෙම කෙනෙකුට හයිවේ එක විවෘතයි කියල ආරංචිය ආපු දවසෙ ප්ලෑන් කළේ පුටාර් වල නැගල ගාළු ගිහින් 'ජපා' ලගෙ ගෙදර නැවතිලා පහුවදා එන්න. 
ඕනෙම කෙනෙක් කිව්වට මෝටර් එන්ජිමක් නැති වාහන වලටයි පයින් යන්නයි තමයි ඉඩදෙනව කියල තිබුණෙ. ඒක හින්ද තමයි පුෂ් බයික් සෙට් කරගෙන යන්න කල්පනා කළේ. 

ඒත් ඉතින් ලබන සතියට මට ඉතාමත් දරුණු ගණයේ පේපර්ස් දෙකකට උත්තර ලියන්න තියෙන හින්ද දවස් දෙකම වෙන්කරන්න පුළුවන් විදියක් තිබ්බේ නැහැ. මේකත් මේ කික් එකට ලියන්න ගත්තට කරන්න තව වැඩ කෝටියයි.

කොහොම කොහොම හරි පුටාර් වැඩේ මට මිස් වුණා. ඒත් ඉතින් කොහොමහරි රවුමක් දාන්නම තමයි හිත. ඒ අතරෙදි උදේ පාන්දරම ආරංචියක් ආවා කාර්/වෑන් වලට යන්න දෙන කතාවක්. ටක් ගාලා ගෙදර කට්ටියටත් කියල ලෑස්තිවෙන්න හදනකොටම නිවුස් එකක් ආවා යන්න දෙන්නෙ පාස් තියෙන වාහන වලට විතරයි කියල. මට ඉතින් පාස් එකකට තියෙන්නේ ඔෆිස් එකට දාන්න තියෙන එක විතරයි. ඒකෙන් යන්න දෙයියෑ හයිවේ එකේ. ඉතින් මාත් හිත හදාගෙන ටියුට් එකක් අතට ගත්තා.

හැබැයි ආරංචිවල හැටියට නම් සෑහෙන වාහන තොගයක් යන එන බව තමා තේරුණේ. කෝකටත් ගිහින්ම බලන්න හිතාගෙනත් කොහෙන් හරි රිංගවන්න පුළුවන් වෙයි කියල හිතලත් දෙකට විතර බයික් එකෙන් පාරට බැස්සා. 

කහතුඩුවෙ එන්ට්‍රන්ස් එකෙනුයි කොට්ටාවෙනුයි නම් යන්න දෙන්නෙම නෑ කියල නිවුස් එක ආපුහින්දා ගැලනිගම පැත්තට තමයි ගියෙ. පැස්ටෝල් එහෙමත් පුරවගෙන පොඩ්ඩක් කැරකි කැරකි ඉන්නකොට මම දැක්කා කොල්ලො සෙට්එකක් බයික් ටිකක් තියාගෙන පොඩි සීන් කෝන් එකක්. 

මම පොඩ්ඩක් විතර කිට්ටුකරල එකෙක්ගෙන් විස්තරේ ඇහුවා.... 
කිරි අප්පට බල්ලෝම පැනපි...... මුන් අර එන්ට්‍රන්ස් අටට අමතරව දැල ගාව ගේට්ටුවක් එහෙම ඇරල කාණුවට ලෑලි කෑල්ලක් එහෙම දාලා පස් තාච්චි දෙකක් විතර දාලා නවවැනි එන්ට්‍රන්ස් එකක් හදලා...... 
එතෙන්ට යන්න පාර විස්තරේ එක්කම ෆුල් රෝඩ්මැප් එකක් මට හම්බුණා. 
ආයෙ මොනවද ඉතින් විනාඩි දෙකෙන් කොල්ලා සදර්න් එක්ස්ප්‍රස්වේ එකේ.



උදේ ඉඳන්ම යන්න උණක් තිබුණ තවත් එකෙකුටත් කෝල් එකක් දීල මම කොට්ටාව බලා ගමන් ඇරඹුවා. ස්පීඩ් ලිමිට්, සුදුපටි මාමල, ටැෆික් ලයිට් මොනවත් අද නෑ. පාර තනිකරම මගේ වගේ. හැබැයි මං ලඟ ෆෝටෝ එකක් හරියට ගන්න උපකරණයක් තිබ්බෙ නෑ. ෆෝන් එකේ කැමරාවෙන් තමයි මේ ෆෝටෝස් ගත්තෙ.



කොට්ටාවට ගිහින් ආපහු ගැලනිගමට ඇවිල්ලා ටික වෙලාවකින් සනිඳුවත් බයික් එක අරන් අර එන්ට්‍රන්ස් එකෙන්ම හයිවේ එකට දැම්මා. හැබැයි දාලා තප්පර 10ක් යන්න කලින් මේක ගැන දැනගත්තු කෙනෙක් ඇවිල්ලා එතන එන්ට්‍රන්ස් එක නිකම් ම නිකන් දැල ගහපු වැටක් බවටම පත්කොලා. 
හැබැයි මුන් තව ටික දවසකින් ඕක ආපහු ඇරලා ටිකට් කඩන්න ගනීද දන්නෙ නෑ....



දැන් කෙලින්ම ගාල්ල බලා....... ගැලනිගම ඉන්ටර්චේන්ජ් එකේ ඉඳන් කිලෝමීටර් විසිදෙකකින් තමයි ඊළඟ එක තියෙන්නේ. 
ඒ දොඩන්ගොඩ.

දොඩන්ගොඩත් පහුකරන් ටිකක් යනකොට ඔන්න ඉතාමත් අසුභ දර්ශණයක් අපිට දකින්න ලැබෙනවා..... හමුදාවෙ මාමල පොලීසියෙ බාප්පල ටිකක් හයිවේ එක වන් වේ කරල. ගාල්ලට යන්න බෑලු........ ගාල්ලෙන් එන ඒවට විතරලු මෙහාට එන්න දෙන්නෙ..... ටිකක් කන්කෙඳිරි ගෑවට වැඩේ හරියන පාටක් නෑ. 
මොනව කරන්නද බැරිනම් ඉතින්.... 

හැබැයි තව ඔප්ෂන් එකක් තිබ්බා. ඒක තමයි දොඩන්ගොඩින් එලියට ඇවිල්ලා බැරියර් එක පාස් කරල ආපහු හයිවේ එකට රිංගන එක. ඒත් පොඩ්ඩක් හරි ගැස්සුණොත් ගාළු පාරෙ ටැෆික් එකේ ආපහු එන්න වෙනව නේද කියල අපි කල්පනා කළා. අපේ ඉතින් හෙන මොළේනෙ. ඒක පොඩ්ඩක් පාවිච්චි කරල ආපහු හැරුණා.

පින්තූර ටික ඔන්න පහළ.










හයිවේ බල්ලෝ...............



දොඩන්ගොඩට මෙහා කන්දන් සමතලා කරල හදපු  ප්‍රදේශයක්... නියමයි.. ඒවගේම මේ හරිය නිකන් ඔෆිස් ටයිම් එකට හයිලෙවල් පාර වගේ බිසී..



අපිත් නැංගා උඩටම......








කොහොමද ලයිට්....



Thursday, November 10, 2011

“ස” වින්දෙමි

දශක හතරක් පුරාවට ජනප්‍රියත්වය බිඳකුදු අඩුනොවෙමින් ලාංකික ජනතාව ආනන්දයට පත්කළ ආනන්දනීය හෝරා තුනක අසිරිය විඳීමට හැකිවීම පිළිබඳ සතුට අකුරුවලට හැරවීමට ට්‍රයි එකක් දෙමි.

වසර හැත්තෑවක් වයසැති වික්ටර් රත්නායකයන්ගේ කටහ‍ඬේ මෙතරම් ජවයක් තිබීම පිළිබඳ මට ඇත්තේ විමතියකි. ඒ හඬට තවමත් ආදරය කරන දහස් සංඛ්‍යාත පිරිසක් මැද හිඳ "ස" විඳීමට හැකිවීමම මහත්වූ භාග්‍යයකි. ප්‍රසංගය නරඹමු යැයි කීවිටදී "මගෙ අයිපොඩ් එකේ ඔය ඔක්කොම සින්දු තියෙනවා" යැයි කියනා එවුන් සිටිනා යුගයක මෙවන් පිරිසක් දැකිමට ලැබීමත් භාග්‍යයකි. සජීවී ප්‍රසංගයක අසිරිය කිසිවිටෙකත් වෙනත් විදියකට ලබන්නට පුළුවන්ද බැරිද යන්න ඔබම තීරණය කළ යුතුය.

මේ බ්ලොග් එකේ සෑහෙන තැන්වල කතාබහ වෙච්ච ජානක ත් තව අපි කවුරුත් දන්න වෙනියා ත් වැඩ කරන slida ආයතයයේ මූලිකත්වයෙන් තමයි මෙවර සයන්න ආනන්ද විද්‍යාලයෙදි පැවැත්වුණේ. ජානාගෙ ආරාධනයක් අනුව තමයි කැලුමත් මමත් මේකට එකතුවුණෙත්.
ප්‍රසංගය ගැන පොඩ්ඩක් කියනවනම් "ස" ප්‍රසංගය තමයි ලංකාවෙ පළමුවැනි ඒක පුද්ගල ස්වතන්ත්‍ර ගී ප්‍රසංගය. 1973 දී තමයි මුල්ම කොන්සට් එක පැවැත්වුණේ. එදා ප්‍රසංගයට ඇතුළුවෙන්න බැරුව දොරවල් කඩන්න හදපු හැටිත් ප්‍රසංගය ආරම්භයත් එක්කම ඉඳිකට්ටක් බිම වැටුණත් ඇහෙන විදියට මුළු ලුම්බිණියට නිහඬ වුණ හැටිත් වාර්තාවල සඳහන් වෙනවා. එදා තිබුණ ජනප්‍රියත්වය අදත් එහෙමමයි නේද කියලයි මට නම් හිතුණේ. දෛවයෝගයකින් ගීතය කියල ඉවරවුණ හැටියෙ ලැබුණු අත්පොළසන් ප්‍රතිචාරයෙන්ම ඒ බව ඉතා හොඳින් පැහැදිළි වුණා. සංගීත භාණ්ඩ ඉක්මවා යන කටහඬේ විවිධත්වය හැමදෙනාවම ආසනවලට තබා බැඳ තිබුණා.

මේ ගැන ඉතින් තවත් කියන්න දෙයක් නැහැ. ජීවිතේ එක්වරක් හෝ බලන්න යන්න කියල තමයි කියන්න තියෙන්නේ. ගිහින් එන්නම්.

මට කැමරාවක් තිබ්බේ නැති හින්දාත් ෆෝන් එකෙන් ගත්ත ෆොටෝ චාටර් හින්දත් වෙනියගෙන් හොරකම් කරල ෆොටෝ එකක් දානවා.. ඔන්න.