Tuesday, September 4, 2012

සුන්දර දුම්බර





කාලෙකට පස්සේ බ්ලොග් එක පැත්තේ එන්න හිතුණේ ගිය සතියේ අත්දකින්න ලැබුණ ඉතාමත් සුන්දර අත්දැකීමක් බෙදාහදා ගන්නයි. ඒ තමයි නකල්ස් හෙවත් දුම්බර කඳුවැටි ආශ්‍රිත ගම්මානයක දින තුනක් ගතකරන්නට ලැබුණ අවස්ථාව. 
විශේෂයෙන්ම මේ පාරිසරික කඳවුර පැවැත්වුණේ මිහිතල මිතුරෝ පරිසර සංවිධානයේ මූලිකත්වයෙන්. ගමනේ මූලික අරමුණක් වුණේ දුම්බර ආශ්‍රිත පරිසර පද්ධති අධ්‍යයනය කිරීමත් ඒ පිළිබඳ ගමේ ජනතාව දැනුවත් කිරීමත් තමයි. විශේෂයෙන්ම කැලෑ ගිනි තැබීම ආදී මිනිසා විසින් පරිසරයට සිදුකරන හානිදායක කටයුතු යම් පමණකට හෝ වළක්වා ගන්න මේ ගමනෙදි අපිට හැකියාව ලැබුණා කියල අපි හිතනවා.




මුලින්ම මේ චාරිකාවේ ගමන් මාර්ගය විස්තර කරල දෙන එක හොඳයි කියල මට හිතෙනවා. 
අපි ගමන් ආරම්භ කළේ හොරණ ප්‍රදේශයෙන්. ඊළඟට මහනුවර මාතලේ හරහා ගිහින් රත්තොට පාරෙන් රිවර්ස්ටන් හරහා පිටවල පතනටත් එතැනින් මීමුරේ බඳු ලංකාවේ තවත් සුන්දර ගම්මානයක් හැටියට හඳුන්වන්න පුළුවන් මහල්කොටුව ගමටත් එතනින් දුම්බර කඳුවැටියේ සුන්දර කඳුගැටයක් වන මානිගල තරණය කිරීමත් තමයි ගමනේ මූලික අරමුණ වුණේ.



කාලෙකට පස්සේ පහුගිය සතිඅන්තයේ ලැබුණ දින තුනක නිවාඩුව ප්‍රයෝජනයට අරන් සිකුරාදා පාන්දරින්ම අපි ගමන ආරම්භ කළා. ලොකු නිවාඩුවක් හින්දා පාරෙත් බොහොම තදබදයක් තිබුණා. 
කොහොමහරි ටිකෙන් ටික අපි මාතලේ නගරයට ළඟාවෙලා එතනින් බොහොම දුෂ්කර මාර්ගයක් වන රිවර්ස්ටන් පාරට හැරුණා. 
දුම්බර කඳුවැටියේ බටහිර බෑවුම තරණය කරගෙන යන ගමන බොහොම දුෂ්කර වුණා. ගොඩක් වංගුවලදී ගල් තියාගෙන ලී කොට දාගෙන තමයි බස්එක ගමන් කරවන්න වුණේ. විශේෂයෙන් කියන්න ඕනෙ මේ පාරෙන් යනකොට ඊට ගැලපෙන වෑන් එකක් වගේ දිග අඩු වාහනයක් යොදා ගන්නවනම් ඉතා පහසුයි කියන කාරණය. උස වැඩිවෙනවත් එක්කම වේගයෙන් සිදුවෙන උෂ්ණත්වය අඩුවීම හොඳින්ම ඇඟට දැනෙනවා. 
මේ පාරෙන් බස් දෙකක් මාරුවෙනවා කියන එක හරිම අපහසු දෙයක්. නමුත් අපිට නම් සිදුවුණා ඒකට කීප වතාවක්ම මුහුණදෙන්න. කොහොමහරි මේ අපහසුතා සියල්ල මැදින් ගිහින් නකල්ස් මුදුනට එනකොට ඒ ඔක්කෝම අමතක වෙනවා. ඒ තරම්ම අති සුන්දර දසුන් දැක බලා ගන්න පුළුවන් මේ ගමනෙදි. මේ පාර නම් අපි රිවර්ස්ටන් මුදුනට නැංගේ නැහැ. මොකද අපේ මූලික අරමුණ මානිගල නගින එක නිසා. ඒක හින්ද කෙලින්ම අපි පිටවල පතනට පල්ලම් බැස්සා. එතනදී දවල් කෑම එහෙම අරගෙන පතන හරහා පුංචි ලෝකාන්තය බලන්න ගියා. 
මේ වෙනකොට වෙලාව හවස 4ට විතර ඇති. මුළු දුම්බර කඳුමුදුන් සියල්ලම වාගේ තද මීදුමින්, වළාකුළු වලින් වැසී යමින් තිබුණා. 
මේ තියෙන පින්තූර වලින් ඒ ගැන හොඳ දසුනක් මවාගන්න පුළුවන්. විශේෂයෙන්ම දුම්බර කලාපයේ තියෙන්නෙ ඊටම ආවේණීක වුණ භූවිෂමතාවයක් වගේම දේශගුණයක්. 
ලංකාවේ වෙන කිසිම තැනකදී මීට සමාන පරිසර පද්ධතියක් දැක බලා ගන්න ලැබෙන්නේ නැහැ.





මේ තියෙන්නේ පුංචි ලෝකාන්තය.




මෙතනින් පස්සෙ අපි කෙලින්ම මහල්කොටුව ගම්මානයටයි ගමන් කළේ. කලින් ම වෙන්කරවාගෙන තිබුණ නවාතැනට යනකොට කළුවර වැටෙන්නත් කිට්ටුයි. මොනව වුණත් ඒ කිට්ටුව තිබුණු මැදි ඇලේ සීතල වතුරෙන් නාන්නත් අපි අමතක කළේ නැහැ.






එදා රාත්‍රිය නවාතැනේ ගතකරන්න අවස්ථාව තිබුණත්, වෙනස් අත්දැකීමක් ලබන්න ඕනෙවුණ නිසා අපි කිහිපදෙනෙක් කූඩාරම් වල ගත කරන්න හිතුවා. මාස අටකින් මේ පැත්තට වැහැල තිබුණෙ නැතත් ඉක්මණටම වැසි සමය ආරම්භ වන බවට ලකුණු නම් හැම අතින්ම පෙනෙන්න තිබුණා. 
මොනව වුණත් මේ තද සුළං හමන සීතල රාත්‍රියේ අපි කූඩාරම් ඇතුළට ගියේ එළිවෙනකම්ම ඉන්න හිතාගෙනයි. එහෙම වුණත් ටික වෙලාවකින් තත්වය වෙනස් වෙනව කියල අපිට තේරුම් ගියා. ඒත් එක්කම හුළඟට අපිත් එක්කම කූඩාරම ගහගෙන යයිද කියලත් හිතුණා. කොහොම හරි අපිට නින්ද ගියත් පැය 2-3 කට වැඩිය නිදාගන්න ලැබුණේ නැහැ. හතරවටින්ම වැස්ස ඇදවැටෙන්න පටන් ගත්තා. මුලදී පොඩි හිරිකඩයක් විතරක් ආවත් වැස්ස ටික ටික වැඩිවෙනකොට කූඩාරම ඔරොත්තු දුන්නෙ නැහැ. කූඩාරම මුදුනෙන් ඇතුළට වතුර ගලන්න පටන් ගත්තා. ටික වෙලාවක් ඉවසගෙන හිටියත් තත්වය එන්න එන්නම දරුණු අතට හැරෙන බව තේරුම් ගත්ත අපි කල්පනා කළා වැස්සේම නමුත් ආපහු නවාතැනට දුවන්න. අන්තිමට තෙමීගෙනම නවාතැනට ගිය අපි උදේ බලනකොට කූඩාරමත් කන්දේ උඩහට හුළඟෙන් ගහගෙන ගිහින් තිබුණා.





පහුවදා පාන්දරම අවදිවෙලා අපි ගම්මානෙන් පිටත්වුණේ මානිගල කන්ද තරණය කරන්නයි. 
කිලෝමීටර් හය හතක වගේ ගමනකින් පස්සේ අපි කන්ද පාමුලට ළඟාවුණා. 
ඒ අතරමඟදී දකින්න ලැබුණ අති සුන්දර දසුන් තමයි මේ පින්තූරවල තියෙන්නේ. තෙල්ගමු ඔයේ වැද්දා පැනි ඇල්ලෙන් එගොඩවෙලා හෙල්මළු කුඹුරු මැදින් ගිහින් අපි මානිගල තරණය කළේ එන ගමනෙදි මෙතනින් ඇතිවෙන්න නාගන්න අදහස හිතේ තියාගෙනයි.
මානිගල ගැන කියනකොට මේකෙ තිබෙන එක් විශේෂත්වයක් තමයි ඊටම ආවේණික වූ හැඩය වගේම පැරැන්නන් සෙවනැල්ල ආධාරයෙන් වෙලාව බලාගන්නට මේක උදව් කරගත්තා කියන එක. 






කඳුමුදුනට නැග්ගාම මුළු දුම්බර කඳුවැටියෙම වගේ නැගෙනහිර බෑවුමත් පිටවල පතනත් පහලින් ගම්මානයත් දැකබලා ගන්න පුළුවන්. 
මුළු කන්ද පුරාවටම වගේ කරඹ, දං, ඇඹුල්පේර ආදී පළතුරුවල රසය විඳින්න අවස්ථාව ලැබෙනවා. මෙතන සුන්දරත්වය වචන වලින් කියනවට වැඩිය හොඳම වගේම පහසුම දේ තමයි මේ පින්තූර වලින් කියන එක.
එනගමන් මෙතනින් නාගන්න අමතක කළේ නැතත් සුළු මොහොතකින් අපි කවුරුත් නොහිතපු විදියට මොරසූරන වැස්සක් පටන්ගත්තා. ඔයෙනුත් නාගෙන වැස්සටත් තෙමීගෙන මුළු දුරම ආපහු පයින් ඇවිදගෙන නවාතැනට එනකොට තුනත් පහුවෙලා. 
වෙහෙසත් එක්කම දෙතුන් ගුණයක් වැඩිවෙලා තිබුණ බඩගින්න නිවෙකම්ම දවල් කෑම කාපු අපි ඊළඟට සූදානම් වුණේ මහල්කොටුව විදුහල් බිමට රැස්වෙන්න කියල අපි කලින්ම ආරාධනා කරපු ගම්වැසියන් දැනුවත් කිරීමේ වැඩසටහනටයි. ඒකත් අපි නොහිතපු තරමටම සාර්ථක වුණා කියලයි අපිට නම් හිතුණේ.







ඔහොම මෙහෙම දෙවන දවසත් ගතකරපු අපි නින්දට ගියේ පහුවදා ඉලුක්කුඹුර හරහා දඹුල්ලට ඇවිල්ල එතනින් ගෙදර බලා යන්නයි. ඒ ගමනෙදි අඹන් ගඟත් අග්බෝ රජු කරවපු ඇළහැර අමුණත් දැක බලා ගන්න අමතක කළේ නැහැ.

ඇත්තටම මේ ගමනේ සුන්දරත්වය අකුරු වලට හරවන්න බැරිවුණත් ඒ පිළිබඳව දැනුවත් කරල ඔබ සැමටත් මේ විශිෂ්ඨ පරිසර පද්ධතියත් අව්‍යාජ ගමක සුන්දරත්වයක් වින්දනය කරන්න අවස්ථාවක් ලබාදෙන්නයි මම උත්සාහ කළේ. 
ගිහින් එන්නං.