Monday, December 26, 2011

හුටා.... යතුර ඇතුළෙ

මේක මෙහෙම ලිව්වට සිද්ධිය වෙච්ච වෙලාවෙ නම් මගේ කන් දෙකෙන් ගින්දර පිටවෙනව වගේ තමයි මට දැනුණෙ. ඒත් කාටහරි ප්‍රයෝජනයක් වෙයි කියල හිතල තමයි දාන්නෙ.

ගිය සතියෙ අපි කට්ටියම නුවරඑළි පැත්තෙ රවුමක් යන්න දාගෙන හිටියේ. ඒ විස්තරෙත් දාන්න ඕනෙ වෙන වෙලාවක. ඒ යන ගමන් තමයි මේක වුණේ.

උදෙන්ම පිටත්වෙලා යටියන්තොට හරියට එනකොට උදේ 8.30ට විතර ඇති. අපි උදේට කන්න හොඳ තැනක් බල බලා තමයි ආවෙ. හරියටම අවිස්සාවේල්ල හැටන් පාරෙ 26වෙනි කණුව ළඟ. පොඩ්ඩක් පහලින් කැළණි ගඟ ගලා බහින ලස්සන තැනක්. අපිත් ඉතින් පහළට බැහැලා ලෑස්ති කරගෙන ආපු කෑම එහෙම කාලා ඉවරවෙලා ආපහු උඩට නැංගා. මේ තියෙන්නෙ එතන ෆොටෝවක්.



මෙන්න මේ වෙලාවෙ කාරෙකෙන් එළියට අරන් තිබුණ බඩු ටිකක් ආපහු දාන්න ඕනි වුණා. ඉතින් මම අන්ලොක් කරලා ඩිකියෙ දොර ඇරලා යතුර තිබ්බා උඩ තියෙන ට්‍රේඑක උඩින්. එහෙම තියලා බඩුටික ඇතුළට දාලා ඩොග් ගාලා දොර වැහුවැ නැතෑ......

දොර වැහෙනවත් එක්කම මට මීටර් වුණා හුටා.. යතුර ඇතුළෙ නේද කියලා... මේ අස්සෙ දිගට හරහට එලාම් එකත් වදිනවා. ටක් ගාලා වෙන දොරක් අරින්න හැදුවත් ඔක්කෝම ලොක් වෙලා. මොකද අන්ලොක් කළාට ඩ්‍රයිවින් සීට් එක ළඟ දොර ඇරියෙ නැත්තම් තප්පර 15 කින් ආපහු ඉබේම ඔක්කොම ලොක්වෙනවා.

මොහොතක්න් මාව නිකන් කූල්වෙලා ඊට පස්සෙ කන් දෙක යටිපතුල් වලින් එහෙම තාරුකා විසිවෙනව වගේ දැනෙන්න ගත්තා. 
ලේසියෙන් ගෙදර ගිහින් අමතර යතුරු ගේන්න පුළුවන් දුරකත් නෙමේනෙ ඉන්නෙ. අපේ ෆෝන් බෑග් ඔක්කොමත් ඇතුළෙ. කරකියාගන්න කිසිම දෙයක් නෑ.

අපිත් එක්ක තව යාළුවො දෙන්නෙකුත් ඇවිල්ලා හිටියා. ඒගොල්ලන්ගෙ යතුරුවලිනුත් දොර ඇරගන්න හැදුවට අඩුගානෙ යතුරු දාගන්නවත් පුළුවන් කමක් වුණේ නෑ.
අන්තිමට පොඩ්ඩක් එහාට මෙහාට ගිහින් විපරම් කරල බලනකොට දැනගන්න හම්බවුණා තව කිලෝමීටර් 2-3ක් එහා ගරාජ් එකක් තියෙනව කියල. ඉතින් බල බලා ඉන්නෙ නැතුව මමයි යාළුවෙකුයි ටක් ගාලා එතන හොයාගෙන යන්න පිටත්වුණා. ඔන්න ඉන්නව ඇංජිමක් ගලෝගෙන බාසුන්නැහැ කෙනෙක්.

බාසුන්නැහැ මාර වැඩක්නේ වුණේ..... යතුර ඇතුළෙ දාලා දොර වැහුවනේ.... මොනවහරි කරගන්න පුළුවන්ද.....

හප්පා මහත්තයා... මාර කේස් එකක්නේ... ඕක කොහොමද කරන්නේ.... මට නම් අමාරුයි.

මාර වැඩේනේ... ගොඩදාගන්න පුළුවන් කෙනෙක් හොයාගන්න බැරිවෙයිද.

ඔයා යන්න තව කිලෝමීටර් 5-6ක් විතර... ගිහින් මෙන්න මෙතන ... අහවල් බාසුන්නැහේ හම්බවෙන්න .... මම කිව්ව කියල කියන්නකො... එයා ඔයවගේ වැඩවලට දස්සයා... මොනවහරි කරගන්න පුළුවන්වෙයි.

දැන් ඉතින් මොකෝ කරන්නේ... අපි එතනටත් යන්න පිටත් වුණා. යනකොට එයා තේ එකක් බොන්න ගිහිල්ලා... එනකන් විනාඩි 10 ක් විතර ඉඳලා .. අපි විස්තරේ කිව්වා... දැක්ක ගමන් මට හිතුණා මෙයා නම් වැඩකාරයෙක්... අනිවා වැඩේ කරගන්න පුළුවන් වෙයි කියලා. ටිකක් විතර වයස.. එක්කෙනෙක්. අපෙන් පොඩි විස්තරයක් එහෙම අහල කම්බි කෑල්ලකුත් අරන් අපිත් එක්ක යන්න පිටත් වුණා..

එන ගමන් බාසුන්නැහේ කියනව...

මහත්තයා මේ සමහර වැඩ නඩු යන්න වෙන වැඩ... අන්තිමට කියයි මෙන්න මෙයා තමයි දොරවල් ඇරල දුන්නෙ කියල. ඔයගොල්ලො දුර හින්ද තමයි මම එන්න හිතුවෙත්.... මේ පැත්තෙ කෙනෙක්ගෙ නම් කීයටවත් කරන්නෙ නෑ කියල.

කතාව සම්පූර්ණ ඇත්ත. හොරෙන් උස්සපු වාහනයක් වුණත් මේ විදියට අන්ලොක් කර ගන්න පුළුවන්නේ ... ඒකයි. අන්තිමේදී බඩුයි හොරුයි ගෑවිච්ච ඔක්කෝමයි උසාවි.

එන ගමන් මම කල්පනා කළේ මෙයා කොහොම මේ වැඩේ කරයිද කියලයි. ලොක් එක කඩන්න දෙන්නත් බෑ... ඩැමේජ් කරන්න දෙන්නත් බෑ... මොකද ඒක හදන්න යන වියදමෙන් ගෙදර ගිහින් යතුර ගේන්න පුළුවන්නේ...

මේ අතරෙදි මට මතක් වුණේ යූ ටියුබ් විඩියෝ එකක්... ඒකෙ පෙන්නනවා බීඩින් එක හරහා නූලක් දාල නොබ් එකේ ගැටයක් ගහල තප්පර 5න් අන්ලොක් කරන සීන් එකක්... ඒත් ඉතින් ඒවගේ වැඩක් මෙතන කරන්න පුළුවන් වෙයිද.....

ඔන්න ආවට පස්සෙ බාසුන්නැහේ කම්බියත් අරන් වැඩේට බැස්ස. අපිත් ඉතින් ළඟටම වෙලා බලන් ඉන්නවා මොකද්ද වෙන්නෙ කියල...

මේක නම් ප්‍රසිද්ධියෙ කියන්නත් හොඳ නෑ.... හැබැයි ඉතින් දොර ඇරගත්තට ස්ටාර්ට් කරන්න බෑනෙ යතුර නැතිව.. අනික සිකියුරිටි සිස්ටම් එකයි ඉමොබිලයිසර් කීඑකක් හින්ද ඒ යතුරම ඕනෙ ස්ටාර්ට් කරන්න. වෙන කපපු ඒවායින් බෑ. හැබැයි ඉතින් බෑයි කියල දේකුත් නෑ... ලංකාවෙ කීයක් නම් වාහන උස්සනවද දවසකට...

ඔනෙ කෙහෙම්මලක්.. මෙන්න මෙහෙමයි වැඩේ කළේ....

ඉස්සෙල්ලාම වීදුරුව ළඟ පහල රබර් බීඩින් එක උස්සන්න ඕනෙ.. ලේසියෙන් කරන්න පුළුවන්... ඩැමේජ් එකක් නැතුව.

ඊට පස්සෙ පේනවා දොරයි වීදුරුවයි අතරින් පොඩි කම්බියක් රිංගවන්න පුළුවන් තරමේ ඉඩක්. එතනින් පුළුවන් අමුතු හැඩේකට කොක්කක් ගහපු ඒ කම්බිය පහළට රිංගවන්න. විනාඩි 10ක විතර ට්‍රයි එකක් දීල එකපාරටම දොරේ නොබ් එක උස්සගන්න එයාට පුළුවන් වුණා.... 

අම්මෝ මට ඒ වෙලාවෙ දැනිච්ච සන්තොෂෙනම් මේකෙ ලියන්න බෑ....ඩැමේජ් එකක් නැතුව වැඩේ කරගන්න පුළුවන් වීම ගැන...

කොහොමහරි ඉතින් එයාවත් ආපහු ඇරලවලා.. ගණන් බේරලා.. ආපහු යන්න පිටත් වෙනකොට පැය දෙකක් විතර ගතවෙලා....

අන්තිමට මට කියන්න තියෙන්නේ මේකයි...

ඔයාලටත් ඔය වගේ වැඩක් වුණොත් ලොක් එක කඩන්නවත් වෙන මොනවත් ගලවන්නවත් දෙන්න එපා. කියල තියෙන මෙතඩ් එකෙන් වැඩේ ලේසියෙන් ගොඩ දාගන්න පුළුවන්.... මම නම් ඕක දැනගත්තෙ එදාමයි..

ඊට පස්සෙ හැම වෙලාවෙම මට යතුර මතක් කරන්න නම් කට්ටිය හිටියා ඇතිවෙන්න.... කනක් ඇහිල ඉන්න හම්බුණේ නෑ......

Friday, December 16, 2011

සීත ගඟුලෙන් ඉහළට

මෙතෙන්ට එනකන් මඟහැරුණ නම් එහෙම ආපහු කලින් පෝස්ට්එක බලලම එමු. මතකනෙ එදා ඇවිල්ල සීත ගඟුලෙන් නාලා එහෙම ආපහු යන්න පිටත්වෙච්ච හැටි. 

හැටන් පාරෙ වගේ නෙවෙයි රත්නපුර පාරෙ සීත ගඟුල හම්බවෙන්නේ පඩි හයදාහකටත් වඩා නැගංමයි. හැටන් නම් නල්ලතන්නියෙ ඉඳල පැයක් ගියාම සීත ගඟුල. 
ඉතින් අයිස් වතුරෙන් නාල කරල එහෙම අපි මේ යන්නෙ අපේ නවාතැන්පළ වෙච්ච හැරමිටිපානට. වෙලාව රෑ 9ට විතර ඇති. කොහොම හරි පඩි අටසීයක් විතර නැග්ගට පස්සෙ තමයි අපි එතෙන්ට ආවේ.



හොඳ වෙලාවට පඩි ගණන් කොටල තිබුණෙ. නැතුව අපි ගණින්නයැ ඉතින්. මේ කියන්නෙ එතකොට පෝය දවසෙ රෑ. එදාටම තිබුණ චන්ද්‍රග්‍රහණයක් හින්ද හඳෙනුත් චූටි කෑල්ලක් විතරයි පේන්න තිබුණේ.

මේ තියෙන්නෙ හැරමිටිපානෙ විශ්‍රාම ශාලාවෙ කෑම වල මිළ ගණන්. ඇත්තටම බොහොම සාධාරණයි. මෙච්චර දුර උස්සගෙන ඇවිල්ල මේ ගාණට දෙනව කිව්වම හිතාගන්නවත් බැහැ.


මේ වෙනකොට අපේ ප්ලෑන් එක වෙලා තිබුණෙ පැය හතරක් වගේ නිදාගෙන ආපහු පාන්දර දෙකහමාරට විතර ඇහැරෙන්න. මළුවට යන්න තව පැය තුනක වගේ ගමනක් තියෙනව කියල තමයි දැනගන්න හම්බවුණේ. ඒක හින්ද ඉක්මණට රෑට කාලා එහෙම පොඩි නින්දක් දාන්න තමයි හිතුවේ. කෑම කිව්වමයි මතක් වුණේ.... මේ ගමනෙදි නම් පාං එපාම වුණා. ගෙදර ඉඳල අපි ඔක්කෝම එක එක විදියට හදානෙ ඇවිල්ලා තිබුණෙත් පාං. ඒ මදිවට රෑටයි උදේටයි හැම වේලකටම තිබුණෙත් පාං. නඩේ ගුරාගෙ හොඳකම තමයි ඉතින්.

අන්තිමට පාං කාල කාල නිදාගන්න හැදුව විතරයි. කොහෙද ඉඳන් ආපු බුවාලා සෙට් එකක් සින්දු කියන්න පටන් ගත්තා. සින්දු කිවුවට ඒව ඔක්කෝම අහගෙන ඉන්නකොට කේන්තියන ප්‍රයිවට් බස්වල වැඩිපුර ඇහෙන සින්දු. අපිත් ඉතින් ඉවසගෙන පැය බාගයක් විතර ඉන්නකොට විශ්‍රාම ශාලාව බලාගන්න කෙනෙක්ද කොහෙද ඇවිල්ල වැඩේ නවත්තල දැම්මා. ඊට පස්සෙ නිදාගන්න හැදුවත් සීතල වැඩිකමට නින්දයන්නෙම නෑ. විනාඩි දහයෙන් ආපහු ඇහැරෙනවා. කොහොම කොහොමහරි ඒ විදියට පැය තුන හතරක් ගෙවාගත්තා. දෙකහමාරට විතර ආපහු නැගිටලා මූණකට එහෙම සෝදගෙන උණුඋණුවෙ තේ බීල ආපහු නඟින්න පටන් ගත්තා.




දැන් නම් හොඳටම හඳ එළිය හරියට දවල් වගේ. නඟිනවා කිව්වට ලේසි වැඩක් නෙමෙයි. එන්න එන්නම බෑවුම වැඩිවෙනවා. පේනවනෙ මේ.. මේ.. 


මේ තියෙන්නෙ මෑල්ලමළකඳුර. සිරිපා වඳින්න ආපු ආච්චිකෙනෙක් මැරෙන්න ඇති ෂුවර් එකටම මේ හරියෙදි.


වළාකුළු අතරින් පතර තිබුණට හඳ එළියට පළාතම බැබළෙනවා. මෙන්න ෆොටෝ...


පැයකට වැඩි කාලයක් නැග්ගම සිරිපා මළුව පෙනුණේ මෙන්න මේ විදියටයි.


අන්තිමේදී අපි හිමින් සීරුවේ ඇහැළකණුවටත් ළඟාවුණා. මේක තමයි මළුවට කලින් හම්බවෙන අවසාන ගිමන්හල. වෙලාව පාන්දර පහයි.


ඇහැළකණුවෙ කඩෙන් කෝපි බීල මහගිරිදඹේ තරණය කරල, කැඩිල තිබුණ වයර් එකකින් යකඩ වැටෙන් කරන්ට් එකත් වද්දගෙන මළුවට එද්දි වෙලාට පහයි හතලිස්පහට විතර ඇති.


උඩමළුවේ ලස්සන...




ඉරසේවය නම් බලන්න බැරිවෙනව කියල කීප වතාවක්ම යකඩ කටෙන් කියනව ඇහුණත් කවුරුවත් හෙල්ලුණේවත් නැහැ. අන්තිමට බලන්න හම්බවුණේ මෙන්න මේ විදියට තමා.



මේ වෙලාවෙ වටේම හොඳ පැහැදිලිව තිබුණත් පූජාව පටන් අරන් මොහොතකින් මුළු උඩ මළුවම තද මීදුමකින් වැහිලා ගියා. මේ තියෙන්නේ හොඳට පායල තිබුණ ඉර ට වෙච්ච වැඩේ.




උඩමළුවෙ පූජාවටත් සම්බන්ධවෙලා සිරිපා නමස්කාර කරල අපි උඩ මළුවෙන් අයින් වුණා. ඒ අතරෙදි අපේ එකෙක්ගේ නළලෙ එතන දාල තිබ්බ පඬුරු කාසියක රුපියලේ මූණත හිටින විදියට එතන හිටපු ස්වාමීන් වහන්සේ නමක් වන්දවල තිබුණ. හොඳවැඩේ බාගෙට වඳින්න යනවට.
පොඩ්ඩක් එතනිනුත් පහලට බැහැල ආපහු සැරයක් නඩේ ගුරා මතක් කරල පාන් කාලා.... හැටන් පාරෙන් බහින්න පටන් ගත්තා.




මේ තියෙන්නේ ටිකක්දුර බහිනකොට ඈතින් පේස මාවුස්සාකැලේ ජලාශය.




ටික වෙලාකින් ආපහු හැටන් පාරෙ සීත ගඟුල. ආයෙ මොනවද ඉතින් නෑව තවත් සැරයක්.



මේ තියෙන්නෙ සිරිපා පාමුල ජපන් සාම චෛත්‍යය.



මේන් හැටන් පාරෙ මකර තොරණ.



සිද්ධාලේප වෙද මහත්තයගෙ පේයාව එකක් එහෙම බීල, පැයට කිලෝමීටර් දෙක තුනක වේගෙන් අපි දෙක විතර වෙනකොට නල්ලතන්නියට ආවා.

ඔන්න සිරිපා කරුණාව ඉවරයි. එතනින් හැටන් අවිස්සාවේල්ල හරහා හයිලෙවල් එකේ ගෙදර.

දවස් තුනක් විතර යනකන් පඩිපෙළවල් දකිද්දි දත්මිටි කැවුණා. අදනම් බොහෝදුරට ෂේප්.

ලබන සතියෙත් ට්‍රිප් ම තමා. නුවරඑළියෙ හෝටන් පැත්තෙ පොඩි සවාරියක් ගහන්න තියෙනවා... ඒ විස්තරේ ගිහින් ඇවිල්ල කියන්න බැරියෑ...


Thursday, December 15, 2011

මුදලාලි මට රුපියල් පණහක පඬුරු දෙනවද?


සිරීපාදෙ යන්න ලෑස්ති වෙයව් කියල හේරගෙන් ඊයක් ආවෙ හදිස්සියෙමයි. 
හැටන් පාරෙන් ගිහින් තිබුණත්  රත්නපුර පාරෙ කැලේ මැදින් නඟින්න මට සෑහෙන්න ඕනකමක් තිබුණා. ඉතින් ආයෙ දෙපාරක් හිතන්න දෙයන් තිබුණෙ නෑ ගමනට ලෑස්තියි. 
ඔක්කොම නවයක් දඬුකෝඩුම පහක්. බයවෙන්න දෙයක් නැහැ නඩේ ගුරා, හේරා අවාරයේ සිරිපා නැඟල හොඳ අත්දැකීම් කියෙන පොරක්. රත්නපුරෙන් නැඟල හැටන් වලින් බහින්න තමයි දැන් අපේ ප්ලෑන් එක.  මොකද රත්නපුර පාර කිලෝමීටර් 8.5 ක් විතර වෙනවා. හැටන් නම් පහයි. තව පාරක් තියෙනවා, කුරුවිට එරත්න මාර්ගය. ඒක තමා දිගම පාර. කිලෝමීටර් දොළහක් විතර.



සෙනසුරාදා උදේ එකොළහට විතර අපි සෙට් එකම රත්නපුරේට ඇවිල්ලා ගන්න ඕනෙ බඩුබාහිරාදිය අරන් සිරිපාගමට යන්න බස්එකේ නැග්ගා. 
අවුරුදු හතළිහකට පස්සෙලු රත්නපුර පාරෙන් මෙදා සමන් දෙව් ප්‍රතිමාව සිරීපාදෙට වැඩම කරවල තියෙන්නේ. මඟ දිගටම ලස්සනට සරසලා තිබුණා. සිරිපාගම තමයි සමනොළ කන්දට ළඟම තියෙන ගම්මානය. රත්නපුරේ ඉඳන් කිලෝමීටර් විසිපහක් විතර ඇති මම හිතන්නෙ. සිරිපාගමින් දවල් කෑම එහෙම අරගෙන අවශ්‍ය අනිත් දේවල් ගන්න වෙලාවෙ තමයි මම ඔය මාතෘකාවට දාල තියෙන සිද්ධිය වුණේ. 

නඩේ ගුරාගෙ අණ විදියට දඬුකෝඩු එව්වො හඳුන්කූරු නූල්බෝල කපුරු එහෙම ගන්නවා එකසිය ගාණට. කඩේ මුදලාලිත් මුලින්ම යන අයට ඕනෙ කරන ඔක්කොම දේවල් කියල දෙන්න පටන් ගත්තා. ඔය වෙලාවෙ තමයි අදීශයා රුපියල් පණහක් දික් කරගෙන එහෙම පඬුරු ගන්න බලන් හිටියෙ. විළිලැජ්ජාවෙ සන්තෝෂෙ බෑ අපි හැමෝටම.

කොහොම කොහොමහරි අන්තිමේදී හවස දෙකට විතර තමයි අපි සිරිපා කරුණා කරන්න පටන් ගත්තේ. නඟින්න නම් සෙනඟ ඇත්තේම නැති තරම්. ඒත් පෙරහැරත් එක්ක සෑහෙන්න පිරිසක් කලින් දවසේ ගිහින් තිබුණා. ඒක හන්දා බහින පිරිස තමයි වැඩිපුරම හම්බවුණේ. ඉස්සර වගේ නෙමෙයි දැන් රත්නපුර පාරෙ දිගමට පඩි තියෙනවා. හැටන් පාරට වැඩිය හොදයි. හැබැයි ඉතින් යනවා යනවා ඉවරයක් නැහැ....


වහින්න වගේ බීරුම තිබුණත් අපේ හොඳ වෙලාවට ලොකු වැස්සක් වැටුණේම නැහැ. යන්තම් පොදයක් ගැහුවා විතරමයි. පැය දෙකකට විතර පස්සේ අපි ළඟාවු‍ණේ ළිහිණි හෙළට. ළිහිණි අක්කට කතා කරල එහෙම ආපහු වන්දනාව පටන් ගත්තා. ගොඩක් අය හැටන් පාරෙන් යන හින්ද මේවගේ තැන් මිස් වෙනව.




කටුකිතුලවංගුව එහෙම පහුකරල ඉස්සරහට යනකොට මෙන්න බොලේ තියෙනව කළුගඟ කියල ගහපු බෝඩ් එකක්. ඒ එක්කම පොඩි බෝක්කුවක් එක්ක දිය පාරක්. බැරි වෙලාවක්වත් අපි ගල් දෙකක් හරස් කරල ඕක වහල දැම්මනම් එහෙම... කළුගඟ කියල එකක් නැහැනේද කියල හිත හිතා අපි අඩියට දෙකට කළු ගඟ තරණය කොළා.



මේ වෙනකොට වෙලාව හයට කිට්ටුයි. කළුවර වැටෙවත් එක්කම වටින් පිටින් මීදුම ගලානෙ එනවා. පාර පාළුවට ගිහින් ... අපි විතරමයි. මේ අත්දැකීම විඳගන්න නම් ඉතින් මේ පාරෙන්ම එන්න වෙනවා.




අපි ගෙත්තම්පානට එනකොට පොඩි වැහි පොදකුත් වැටෙන්න පටන් ගත්තා. මම හිතන්නෙ අපි මේ වෙනකොට පඩි තුන්දාහකට වැඩිය නැඟල තිබුණෙ. තව හත් අට දාහක් නඟින් තියෙනව. තම තමන්ගෙ බෑග්වල තියෙන කෑම ජාති කන්න දෙන්න මේ වෙනකොට හැමෝටම පුදුමාකාර උනන්දුවක් ඇතිවෙලා තිබුණෙ.



විනාඩි විස්සක විතර විවේකයකින් පස්සෙ ආපහු නඟින්න පටන් ගත්තා. දැන්නම් හොඳටෝම කළුවර වැටිලා.



ඊළඟට ධර්මරාජගල එහෙම තරණය කරල ටිකක් විතර එළිමහන් ගල්තලාවකට සේන්දුවුණා. එතනට ඈතින් ලස්සනට සිරිපාකඳු මුදුන පේනව. හැබැයි ලයිට් වලින් සලකුණුවෙලා තිබුණු, ගැරඬියෙක් වගේ තියෙන පාර දැක්කම කාගෙ කාගෙන් ඇස් පියවෙන්න පටන් ගත්තා. ඒ මදිවට පහළට බැහැල තමයි ආපහු කන්ද නඟින්න තිබුණෙ.


ඔහොම ටික වෙලාවක් යනකොට ඇහෙන්න පටන් ගත්තා සීතල වතුර පාරක සද්දයක්. ආයෙ වෙන මොකක්වත් නෙමේ ඉතින් ඒ තමා සීත ගඟුළ. 



වෙලාව රෑ අටහමාරයි. වෙලාව කීය වුණත් සීත ගඟුලෙන් නාන්නැතුව අඩියක් වත් තියන්න පුළුවනෑ.... අයිස් පරාදවෙන වතුරට ඔක්කොම බැස්ස. මුළු ඇඟම නිකන් පිච්චෙනව වගේ ඒ වෙලාවෙ අපිට දැනුණෙ. නිකන් දත් හිරිවැටෙන්න බේත් විද්දා වගේ. ඇල්ලුවට තේරෙන්නෙ නැහැ. සමහර අවයව ඇඟේ තියෙනවද කියලත් පොඩි සැකයක් වගේත් හිතුණා.
මොන තරම් චණ්ඩි වුණත් ඒ වතුරෙ වැඩිපුර වෙලා හිටියොත් ඇඟේ තියෙන ලේත් මිදෙයිද කියල හිතුණ හින්දා ගැහි ගැහීම ගොඩට ආවා.. හැබැයි ඉතින් එච්චර වෙලාවක් තිබුණ මහන්සිය කොහෙන් ගියාද කියල නැහැ. හරිම ෆ්‍රෙෂ්.
එතනම තිබුණ කඩේකින් උණු කෝපි එකක් ගහල නඩේ ඔක්කෝම දැන් ලෑස්තිය අපේ ඊළඟ නවාතැන්පළ වෙච්ච හැරමිටිපානට යාගන්නයි. 

නඩේ ගුරා තීරණය කළේ හැරමිටිපානේ පැය හතරක් විතර ඉඳල පාන්දර තුනට විතර ආපහු කරුණාකරන්න පටන් ගන්නයි.

මෙතන ඉඳල විස්තරේ නම් කියන්න වෙන්නේ හෙට තමයි.....

Monday, November 21, 2011

අධිවේගේ රවුමක්.


හෆ්ෆා.. මේකෙ යන්න ගහපු ප්ලෑන් ටික නම් කියල ඉවර කරන්නත් අමාරුයි. 19, 20 දවස් දෙකේ ඕනෙම කෙනෙකුට හයිවේ එක විවෘතයි කියල ආරංචිය ආපු දවසෙ ප්ලෑන් කළේ පුටාර් වල නැගල ගාළු ගිහින් 'ජපා' ලගෙ ගෙදර නැවතිලා පහුවදා එන්න. 
ඕනෙම කෙනෙක් කිව්වට මෝටර් එන්ජිමක් නැති වාහන වලටයි පයින් යන්නයි තමයි ඉඩදෙනව කියල තිබුණෙ. ඒක හින්ද තමයි පුෂ් බයික් සෙට් කරගෙන යන්න කල්පනා කළේ. 

ඒත් ඉතින් ලබන සතියට මට ඉතාමත් දරුණු ගණයේ පේපර්ස් දෙකකට උත්තර ලියන්න තියෙන හින්ද දවස් දෙකම වෙන්කරන්න පුළුවන් විදියක් තිබ්බේ නැහැ. මේකත් මේ කික් එකට ලියන්න ගත්තට කරන්න තව වැඩ කෝටියයි.

කොහොම කොහොම හරි පුටාර් වැඩේ මට මිස් වුණා. ඒත් ඉතින් කොහොමහරි රවුමක් දාන්නම තමයි හිත. ඒ අතරෙදි උදේ පාන්දරම ආරංචියක් ආවා කාර්/වෑන් වලට යන්න දෙන කතාවක්. ටක් ගාලා ගෙදර කට්ටියටත් කියල ලෑස්තිවෙන්න හදනකොටම නිවුස් එකක් ආවා යන්න දෙන්නෙ පාස් තියෙන වාහන වලට විතරයි කියල. මට ඉතින් පාස් එකකට තියෙන්නේ ඔෆිස් එකට දාන්න තියෙන එක විතරයි. ඒකෙන් යන්න දෙයියෑ හයිවේ එකේ. ඉතින් මාත් හිත හදාගෙන ටියුට් එකක් අතට ගත්තා.

හැබැයි ආරංචිවල හැටියට නම් සෑහෙන වාහන තොගයක් යන එන බව තමා තේරුණේ. කෝකටත් ගිහින්ම බලන්න හිතාගෙනත් කොහෙන් හරි රිංගවන්න පුළුවන් වෙයි කියල හිතලත් දෙකට විතර බයික් එකෙන් පාරට බැස්සා. 

කහතුඩුවෙ එන්ට්‍රන්ස් එකෙනුයි කොට්ටාවෙනුයි නම් යන්න දෙන්නෙම නෑ කියල නිවුස් එක ආපුහින්දා ගැලනිගම පැත්තට තමයි ගියෙ. පැස්ටෝල් එහෙමත් පුරවගෙන පොඩ්ඩක් කැරකි කැරකි ඉන්නකොට මම දැක්කා කොල්ලො සෙට්එකක් බයික් ටිකක් තියාගෙන පොඩි සීන් කෝන් එකක්. 

මම පොඩ්ඩක් විතර කිට්ටුකරල එකෙක්ගෙන් විස්තරේ ඇහුවා.... 
කිරි අප්පට බල්ලෝම පැනපි...... මුන් අර එන්ට්‍රන්ස් අටට අමතරව දැල ගාව ගේට්ටුවක් එහෙම ඇරල කාණුවට ලෑලි කෑල්ලක් එහෙම දාලා පස් තාච්චි දෙකක් විතර දාලා නවවැනි එන්ට්‍රන්ස් එකක් හදලා...... 
එතෙන්ට යන්න පාර විස්තරේ එක්කම ෆුල් රෝඩ්මැප් එකක් මට හම්බුණා. 
ආයෙ මොනවද ඉතින් විනාඩි දෙකෙන් කොල්ලා සදර්න් එක්ස්ප්‍රස්වේ එකේ.



උදේ ඉඳන්ම යන්න උණක් තිබුණ තවත් එකෙකුටත් කෝල් එකක් දීල මම කොට්ටාව බලා ගමන් ඇරඹුවා. ස්පීඩ් ලිමිට්, සුදුපටි මාමල, ටැෆික් ලයිට් මොනවත් අද නෑ. පාර තනිකරම මගේ වගේ. හැබැයි මං ලඟ ෆෝටෝ එකක් හරියට ගන්න උපකරණයක් තිබ්බෙ නෑ. ෆෝන් එකේ කැමරාවෙන් තමයි මේ ෆෝටෝස් ගත්තෙ.



කොට්ටාවට ගිහින් ආපහු ගැලනිගමට ඇවිල්ලා ටික වෙලාවකින් සනිඳුවත් බයික් එක අරන් අර එන්ට්‍රන්ස් එකෙන්ම හයිවේ එකට දැම්මා. හැබැයි දාලා තප්පර 10ක් යන්න කලින් මේක ගැන දැනගත්තු කෙනෙක් ඇවිල්ලා එතන එන්ට්‍රන්ස් එක නිකම් ම නිකන් දැල ගහපු වැටක් බවටම පත්කොලා. 
හැබැයි මුන් තව ටික දවසකින් ඕක ආපහු ඇරලා ටිකට් කඩන්න ගනීද දන්නෙ නෑ....



දැන් කෙලින්ම ගාල්ල බලා....... ගැලනිගම ඉන්ටර්චේන්ජ් එකේ ඉඳන් කිලෝමීටර් විසිදෙකකින් තමයි ඊළඟ එක තියෙන්නේ. 
ඒ දොඩන්ගොඩ.

දොඩන්ගොඩත් පහුකරන් ටිකක් යනකොට ඔන්න ඉතාමත් අසුභ දර්ශණයක් අපිට දකින්න ලැබෙනවා..... හමුදාවෙ මාමල පොලීසියෙ බාප්පල ටිකක් හයිවේ එක වන් වේ කරල. ගාල්ලට යන්න බෑලු........ ගාල්ලෙන් එන ඒවට විතරලු මෙහාට එන්න දෙන්නෙ..... ටිකක් කන්කෙඳිරි ගෑවට වැඩේ හරියන පාටක් නෑ. 
මොනව කරන්නද බැරිනම් ඉතින්.... 

හැබැයි තව ඔප්ෂන් එකක් තිබ්බා. ඒක තමයි දොඩන්ගොඩින් එලියට ඇවිල්ලා බැරියර් එක පාස් කරල ආපහු හයිවේ එකට රිංගන එක. ඒත් පොඩ්ඩක් හරි ගැස්සුණොත් ගාළු පාරෙ ටැෆික් එකේ ආපහු එන්න වෙනව නේද කියල අපි කල්පනා කළා. අපේ ඉතින් හෙන මොළේනෙ. ඒක පොඩ්ඩක් පාවිච්චි කරල ආපහු හැරුණා.

පින්තූර ටික ඔන්න පහළ.










හයිවේ බල්ලෝ...............



දොඩන්ගොඩට මෙහා කන්දන් සමතලා කරල හදපු  ප්‍රදේශයක්... නියමයි.. ඒවගේම මේ හරිය නිකන් ඔෆිස් ටයිම් එකට හයිලෙවල් පාර වගේ බිසී..



අපිත් නැංගා උඩටම......








කොහොමද ලයිට්....