Sunday, December 26, 2010

හේරාගේ ගෙදර සිට උඩරට මැණිකේ සීග්‍රගාමී දුම්රියෙන් ආපසු එන ගමනෙදි සිදුවු සත්‍ය සිදුවීමකි.

මේ කතාන්දරය මම විසින් ලියන ලද්දක් නොව පොඩි එකා විසින් ලියා ජී තැපෑලෙන් එවන ලද්දකි. ඔබ හැමගේ වින්දනය පිණිස මෙසේ ඉදිරිපත් කරමි. මෙය සිදුවූයේ ගිය සති අන්තයේ දියතලාවේ චාරිකා කොට ආපසු කොළඹ එන අතරතුරය. චාරිකාවේ තවත් රසවත් තැන් ලඟදීම බලාපොරොත්තු වන්න.
සැ.යු.  තේරුම් ගැනීමට domain knowledge අවශ්‍ය විය හැක.

දියතලාව සිට තම ජොල් ශරීරය ඔසවා අපහසුවෙන් පැමිණි පුටුවා එතෙක් වෙලා පොර ටෝක්ස් දුන් සුදු චූටියාගේන් කොටුව දුම්රිය ස්ථානයට දුර ඇසුවේය.

ගම්පහ සිට කොටුවට දුම්රියේ ගමන් කලත් සුදු චූටියා දුරක් වේලාවක් නොදනී.

නමුත් මෙතෙක් වෙලා තම පොර ටෝක්ස් අසා සිටි   පුටුවාට චාටර් වීම තමාට පමණක් නොව  ගම්පහ ටේන් සෙට් එකටම වන අපකීර්තියකියි සිතූ චූටියා එකෙනෙහිම තම හිස එලියට දමා වේගයෙන් පසුවන 40 Kmph ලෙස සටහන් වු දුම්රිය වේග සීමාවක් දැක "තව කිලෝමීටර හතලිහයි" මහා පොර ලීලාවෙන් පැවසීය.

ඒවන විටත් දුම්රිය රඹුක්කන පසුකර පොල්ගහවෙළ  බලා එමින් පැවතුණි.
නමුත් අවුලෙන් සිටි පහඳාට චුටියාගේ දුර පිළිගැණිමට නොහැකිවිය.
පොල්ගහවෙළ ආසන්ය්‍යට  පැමිණෙන තෙක් බොහෝවෙලාවක් කල්පනා කල පහඳාට මීරිගම දුම්රිය ස්ථානය පවා 40 -45 km  දුරක් ඇති බව අවබෝධ විය.

එකෙනෙහිම ඌ "පිපිස්සුද චූටි කිලෝමීටර 61 ක් බන් මෙතන්ටම" කියා කිලෝමීටර 61 කණුව පෙන්වීය.
එවිට චුටියා "හරි බන් මම කිව්වෙ හැතැම්ම වලින් ,40  1.6න් වැඩිකරාම කිලෝමීටර 60 ක් විතර" කියා තම ඇඟ බේරාගැනීමේ ඉතා මෝඩ උත්සාහයක නිරත විය.

මෙය ඇසු බව්වා,පුටුවා, පහඳා සහ අසල සිටි රට වැසියෝ සිනහවෙන් ඉපිලෙන්නට විය.

Thursday, December 9, 2010

ජානක ඇන්ඩ් ද පාටි.

     අද මම කියන්න යන්නේ ට්‍රිප් එකක් ගැන නෙමෙයි ට්‍රිප් එකක් ගිහින් වෙච්ච දෙයක් ගැනයි. ජානකයා මාත් එක්ක තරහ වෙන එකක් නෑනෙ. මේක උනේ අපි කැම්පස් එකේ ෆස්ට් ඉයර් ඉන්න කාලෙ. විභාගෙ එහෙම ඉවර වෙලා හිටියෙ. ඉතින් අපි කට්ටියටම ඕනෙ වුනා කොහේ හරි ට්‍රිප් එකක් යන්න. (මේ ට්‍රිප් එකේ විස්තරෙත් ළඟදීම දානවා) කොහොමහරි අවසානයට තීරණය වුනේ නුවරඑළි + හෝටන් යන්න. කෝච්චියෙ තමයි යන්න තීරණය කළේ. ටිකට් එහෙම කලින් වෙන් කරගෙන තමයි වැඩේට සෙට් වුනේ. 
     පළවෙනි දවසෙ එහෙ මෙහෙ ඇවිදලා දෙවෙනි දවසෙ උදෙන්ම අපි පට්ටිපොළ ස්ටේෂන් එකට ආවෙ එතන ඉඳල පයින්ම හෝටන් ගිහින් එන්න හිතාගෙනයි. ට්‍රිප් එක ඉවරවෙලා ආපහු යන විදිය වත් වෙලාව වත් එතකොට තීරණය කරල තිබුණෙ නෑ. ඒක හින්ද අපි පොඩ්ඩක් ස්ටේෂන් මාස්ටර් එක්ක කතා කරල බැලුව කොළඹට කෝච්චියක් තියෙන වෙලාවල් ගැන එහෙම. එතකොට ස්ටේෂන් මාස්ටර් කියපු දේවල් අහල ඔන්න අපිට පොඩ්ඩක් තේරුණා වැඩේ අපි හිතාගෙන හිටියට වැඩිය පොඩ්ඩක් වෙනස් කියල. අපි ට්‍රිප් එක ඇවිල්ල තිබුණෙත් දීර්ඝ සති අන්තයක. ඒක හින්ද මේ පැත්තෙ ජීවත්වෙන කොළඹ ජොබ් කරන සියළු ජනතාව ආපහු කොළඹ යන කෝච්චියට තමයි අපිට ආපහු යන්න නැකත සෙට්වෙලා තියෙන්නෙ. බදුල්ලෙන් මිසක් කෝච්චියට නඟින්න ලේසි නැහැලු. අපිත් සෙට් එකටත් තේරුණා දවසම පයින් ලෝකාන්තෙට ඇදල ආපහු පැය 9-10ක් කෝච්චියෙ හිටගෙන යන එක පොඩ්ඩක් විතර දරුණු වැඩක් කියල. ටිකට් බුක් කරන එකත් බදුල්ලෙන් මිසක් කරන්න බැරිලු. 
  එහෙම කියලත් ඉතින් නිකන් ඉන්න බැහැනෙ මොනවහරි මේකට කරන්නත් ඕනෙනේ. තව දවසක් මෙහෙ ඉන්න එකත් ලේසි වැඩක් නෙමේ. අපි කෝකටත් කියල පොඩ්ඩක් ස්ටේෂන් මාස්ටර් ට කතා කරල බැලුව අපි මෙන්න මෙහෙම ළමයි ටිකක්ය.. මේ වගක් දැනගත්තෙත් දැන් ය කියල.. වැඩේ ටිකක් ෂේප් වගේ.. කොහොම කොහොම හරි මාස්ටර් අපෙන්ම ෆෝන් එකකුත් ඉල්ලගෙන බදුල්ලට කෝල් එකක් අරගෙන දැන් කතා කරගෙන යනවා. වැඩේ හරි.. දැන් අපි (අපි කිව්වට ස්ටේෂන් මාස්ටර්) ඔන්ලයින් සිස්ටම් එකට ටිකට් බුක් කරන්නයි යන්නෙ.
    ඔන්න මේ වෙලාවට තමයි කොහෙද ඉඳල ජානකය සෙට් වෙන්නෙ. ජානක කියන්නේ මේ අර උතුවන්කන්දෙදි ආච්චිගෙන් පාර අහපු ජානකම තමයි. 
ඔන්න දැන් කෝල් එක යන අතරෙදි ස්ටේෂන් මාස්ටර්ට ඕනෙ වුනා ටිකට් බුක් කරන කට්ටියගෙ නමක්. ඇයි ඉතින් කාටද කොහේටද වගේ විස්තර ඕනෙ නෙ වැඩේට. 
ආයෙ මොනවද අපි කට අරින්නත් කලින් ජානකය ජානක.. ජානක.. කියල කිව්වා. අපිත් ඉතින් ජානක.. ජානක.. කියලම කියල දැම්මා. 
මේ අතරෙදි  දැන් කෝල් එකත් දිගටම යනව. ජානකයටත් එක තැනක ඉන්න බෑනෙ. මූත් ඉතින් සීතලේම එහාට මෙහාට ඇවිද ඇවිද හිටියා. 
එතකොටම ස්ටේෂන් මාස්ටර් බදුල්ල ස්ටේෂන් එකට අනික් විස්තරත් එක්ක නම විදියට කියනව “ලියාගන්න ජානක ඇන්ඩ් ද පාටි කියල” කියල. ඔන්න මේ වෙලාවෙ ජානකයට මේක යන්තම් වගේ ඇහිල කෑ ගහගෙන දුවගෙන එනව “නෑ නෑ ජානක ගයාන් පතිරණ.. ජානක ගයාන් පතිරණ ..” කියල. මළ කෙළියයි මූ හිතල තියෙන්නෙ පොරගෙ නම වැරදියට කිව්ව කියලයි. 
මේ අතරෙදි ස්ටේෂන් මාස්ටරුත් බයවෙලා වගේ අපේ දිහා බැලුව. අපිත් ඔක්කොම නෑ.. නෑ.. හරි ..හරි ..කියල කිව්වා. 
මෙන්න ඒ පාර ජානකය ආපහු කෑ ගහනව “ජානක ගයාන් පතිරණ” කියල. අපිටත් ඉතින් මැරෙන්න හිනා. බොහොම අමාරුවෙන් තමයි මේකට කාරණාව හරියට තේරුම් කරල නිශ්ශබ්ද කෙරෙව්වේ. ඇයි ඉතින් මේ යන්තම් වැඩේ කෙරෙන වෙලාව. කෝල් එකත් ඉවර නැහැ. බැරිවෙලාවක් වත් ටිකට් බුක් කරගන්න බැරිවුනානම් හෙන කට්ටක්නේ කන්න වෙන්නෙ. කොහොම හරි එදා පට්ටිපොළ ස්ටේෂන් එකේ මාස්ටර්ට පිං සිද්ධ වෙන්න හෝටනුත් ගිහින් කෝච්චියෙත් පහසුවෙන් එන්න පුළුවන් වුනා. ස්ටේෂන් මාස්ටර්ගෙ නම නම් මතක නැහැ.
හ්ම්.. ඔන්න ඉතින් ඔහොමයි ජානකය අපිට අමතක නොවන තවත් සිදුවීමක් ජීවිතේට එකතු කළේ. දැන් නම් මේකාත් ලංකාවේ ඉහළ පෙළේ ආයතනයක මෘදුකාංග ඉංජිනේරුවරයෙක් තමයි. මේක කියවල තරහ වෙන එකක් නම් නෑ කියල තමයි මම හිතන්නෙ.
ඔය පහලින් තියෙන්නෙ එදා ස්ටේෂන් එකේදි තවත් යාළුවෙක් ගත්ත ෆොටෝ එකක්. දැන් නම් අඳුරන්නත් අමාරුයි වගේ.

Monday, December 6, 2010

උතුවන්කන්දෙ ඉඳන් බෝ ඇල්ලට.

ඔන්න මම දැන් කලින් බ්ලොග් එකේ ඉතුරු ටික තමයි කියන්න යන්නේ. ඒක බලපු නැති අය දැන් පේළියක් හැදිල ගිහින් මෙතනින් උතුවන්කන්දට නැඟපුහැටි බලාගෙන එන්න.

මතක ඇතිනේ කට්ටියට අපි කන්දෙන් පහළට බැස්ස කියල. ඔන්න දැන් බෝ ඇල්ල හොයාගෙන යන්න තමයි අපේ කල්පනාව. හැබැයි කවුරුත් දන්නෙ නැහැ කොහොමද යන්නෙ කියල. ඔන්න දැන් අපි බලාගෙන ඉන්නෙ පාර අහගන්න කවුරුහරි එනකම්. ආ.. අමතක වුණානේ වජිර දැනගෙන හිටියා ආපහු නුවර පාරට ඇවිල්ල බෝ ඇල්ලට යන පාරක්. ඒත් අපි හිතුවෙ උතුවන්කන්දෙ ඉඳල ෂෝට් කට් එකක් ඇති කියලයි. මෙහෙම ටික වෙලාවක් යනකොට ඔන්න එනව බොලේ ආච්චි කෙනෙක්. ජානකය පැනල ඇහුව ආච්චියෙ ඇල්ලට යන්නෙ කොහොමද කියල. ආච්චි කියපි අනේ පුතේ තව ටික දුරයි තියෙන්නෙ ඔන්න ඔහොම ඉස්සරහට යන්න කියල. ඒ අස්සෙ කැළුමද කොහෙද ඇහුව ආච්චියෙ කීය විතර වෙනකොට යන්න පුළුවන් වෙයිද කියල. කිව්වෙ නැතෑ ආච්චිත් අනේ පුතේ එච්චර වෙලාවක් යන්නෙ නැහැ දෙක විතර වෙනකොට යන්න පුළුවන් කියල. කිරි අප්පට බල්ලො පැනපි දැන් වෙලාව එකොළහ මාරයි. කට්ටිය මූණු ඇඹුල් කරගෙන හා ආච්චියෙ කියල ඔන්න ආච්චිව නිදහස් කළා. මේ වැඩේ හරියන්නෙ නැහැ කියල ආපහු වජිර දන්න පාරෙන්ම යන්න අපි අන්තිමට තීරණය කළා. එතකොටම අර පොඩ්ඩක් නතර වෙලා තිබ්බ වැස්ස ආපහු වහින්න පටන් ගත්තා. හොඳ වෙලාවට එතනම තිබුණ පරණ ඉස්කෝල ගොඩනැඟිල්ලක්. සරදියෙල් අකුරු කරපු ඉස්කෝලෙද මන්දා. කට්ටිය දඩිබිඩි ගාල ඒකට රිංග ගත්තා. ම් ම් ම්.. මෙන්න බොලේ කුරුටු ගී. දවසක් කියවන්න පුළුවන් තරමට බිත්තිපුරාම කුරුටු ගී. වැස්ස පායනව දැනුණෙවත් නැහැ.



අපි දැන් ආපහු නුවර පාරට ගාටනවා. අර ආච්චි කියපු පාර නෙමේ හොඳේ. මේ කියන පාරෙ විස්තරේ මෙහෙමයි. උතුවන්කන්දෙ ඉඳල නුවර පාරට ඇවිල්ල මීටර් 700 ක් විතර නුවර පැත්තට එන්න ඕනෙ. එතකොට හම්බවෙනවා වම් පැත්තට තාර දමාපු අතුපාරක්. මේ පාර දිගේ දිගටම යන්න ඕනෙ කිලෝමීටරයක් විතර. ආපහු පාර දෙකට බෙදෙනවා එතනින් වමට හැරෙන්න. තවත් කිලෝමීටරයක් විතර වගේ යනකොට තියෙනවා තුන්මං හන්දියක්. වාහනයක යනව නම් එතනින් වමට යන්න. නැත්නම් දකුණට තියෙන පාරෙන් ගිහින් ඇල්ල පහළින් මතුවෙන්න පුළුවන්. අපිත් මේක දැනගත්තෙ ගියාට පස්සෙයි. කට්ටියගෙ තීරණය වුනේ ඒ පාරෙන් යන්නයි. වටේ පිටේ අයගෙත් උදව් ඇතුව පාරවල් හොයාගෙන ඔන්න කොහොම  කොහොම හරි ඇල්ලෙ සද්දෙ ඇහෙන මානයට අපි ළඟාවුණා. එතන ඉඳන් සද්දෙ ඇහෙන පැත්ත ට ගස් ගල් උඩින් තමා ගමන. ඔයට බැහැල ඉහළට ගල් උඩින් යන්න ඕනෙ. මේ අස්සෙ ජලා (මුගෙ නමට මුලින් තව කෑල්ලක් තියෙනවා. ඒක කියන්න බැහැ) මුගෙ සෙරෙප්පු දෙකින් එක්ක වතුරට වට්ටගෙන. ඒක වතුර පාර දිගේ වේගෙන් පහළට යනවා. හේරා සෑහෙන දුරක් ගිහින් තමයි යන්තම් සෙරෙප්පුව හොයාගෙන ආවේ.

මෙතන ඉඳල අපි දැකපු සුන්දරත්වය නම් ඉතින් විස්තර කරන්න මට වචන මදි. ඒ තරමටම ලස්සන පරිසරයක්. දැක බලාගන්න ඔන්න මම පින්තූර කීපයක් දාන්නම්. තාමත් අපි ඇල්ල පටන් ගන්න තැනට ආවේ නැහැ. පහළ ඉඳන් උඩට නඟින ගමන් ගත්තු ෆොටෝ කීපයක් තමයි මේ. නිවාඩු පාඩුවේ ඇවිත් දවසක් ගත කරල යන්න කියාපු තැනක් තමයි මේ බෝ ඇල්ල.




ඉහළට යනකොට බලාගන්න පුළුවන් ලංකාවේ විශාලතම ස්වභාවික තටාක අතුරින් එකක්. හැබැයි පුතෝ මෙතන නාන්න නම් එපා. සෑහෙන භයානක තැනක්ලු මේ ළඟදිත් නාන්න ආපු කෙනෙක් මැරුණ කියල වජිර කිව්වා. ඒක හින්දා ඇස් දෙකෙන් විතරක් ලස්සන විඳ ගන්න එක හොඳා. අපි ගිය දවසෙ වතුර පාර ටිකක් අඩු වුණාට දෙපැත්තෙ තිබුණ වතුර පාරෙ සැරට නැවිල ගිය ගස්වල අතුවලින් හිතාගන්න පුළුවන් වුණා වතුර පාරෙ තරම.උඩට ගිහින් ගත්ත පින්තූර වලින් ටිකක් මෙන්න.




පැය 2ක් 3ක් විතර ඉඳල ඔන්න දැන් අපි ආපහු එන්නයි සූදානම. ආපහු ආවෙ නම් ඇල්ලට යන්න තියෙන නීත්‍යානුකූල පාර දිගේ. ඇල්ල ළඟ ඉඳලම වාහනයකිනුත් එන්න පුළුවන්. එහෙම ආවත් ටික දුරක් ඇල්ල පහළට බහින්න අමතක කරන්න එපා.



කොහොමහරි ඔන්න අපි පයින්ම අපි ආපහු අර අන්තිමටම හම්බවුණු තුන්මන් හන්දියට ආවා. මෙන්න බොලේ සෑහෙන්න සුභ ආරංචියක්. මෙතන ඉඳන් බස් එකක් තියෙනවලු නුවර පාරට එන්න. කියල වැඩක් නැහැ පයින් ඇවිල්ලම සෑහෙන මහන්සි වෙලයි තිබුණේ.

හැබැයි දැන් එකදෙයක් අඩුයි. අපි නෑවෙ නැහැනේ. දැන් ඉතින් නාන්න තියෙන එකම ස්පොට් එක තමයි වජිරල ගෙ ගෙදර ළඟින් ගලා බහින ඔය පාර. මේක තමයි අර අලි අනාථාගාරයෙ අලි නාවන ඔය. ම්ම්ම් නම නම් මට දැන් මතක නැහැ. දැන් කෙලින්ම එහෙට තමයි. නාලා ඉවරවෙලා වජිරගෙ ගෙදරින් බඩ පැලෙන්න කාලා තමයි අපි ආපහු ජලාගේ වෑන් එකෙන් කොළඹ බලා පිටත් වුණේ. පහුවදා ඉඳල කට්ටියටම ආපහු දවසම මොනිටරේ දිහා බලාගෙන ඉන්න රස්සා තියෙනවනෙ. මොනව කරන්නද කියල හිත හදාගෙන ආවා ඉතින්.

මේ පාර පොඩ්ඩක් වැඩිපුර විස්තර ඇතුව දැම්මා ඕං. යන කස්ටිය ඉන්නවනම් හොයාගෙන යන්න පුළුවන් විදියට.