Monday, June 4, 2012

වරදකරු ස්වාමීනී


සෑහෙන කාලෙකින් මේ පැත්තෙ කැරකිලා යන්න ආවෙ. ලියන්න නං සෑහෙන්න දේවල් සිද්ධවුණාට ලියාගන්න තමයි වෙලාවක් තිබ්බෙ නැත්තේ. කොහොම කොහොමහරි දැං මම මේ ලියන්න යන්නෙත් දැනට මාසෙකට හමාරකට කලින් සිද්දවෙච්ච වස විළි ලැජ්ජා නැති සීන් එකක් තමයි.



දවස හරියටම අප්‍රේල් මාසෙ දොළොස්වෙනිදා. සිංහල අවුරුද්දට ඔන්න මෙන්න. හැබැයි උදේ පාන්දරම අහන්න ලැබුණෙ සෑහෙන කණගාටුදායක ආරංචියක්. 
ඒක තමයි අපි කවුරුත් හොඳින් අඳුනන වෙනියගෙ අම්මා නැතිවෙච්ච ආරංචිය. 
කොට්ටාව පැත්තෙ පොරක් තමයි කෝල් එකක් දීල ඒ බව කිව්වෙ. අවසාන කටයුතුත් එදාමයි කියල තමයි ආරංචි වුණේ.
 ඉතිං වැඩිවෙලාවත් තිබුණෙත් නැති හින්දත් කහවත්තටම යන්න ඕනෙ හින්දත් අපි ඒ වෙලාවෙම පිටත් වෙන්න තමයි හිතුවේ. 
ගමනට සෙට් වුණේ තවත් බ්ලොග්කාරයොම  තුන්දෙනෙක් තමයි. පූසා අභියා සහ වැපා. 
“අම්මෙ වෙනී අයියගෙ අම්ම නැතිවෙලාලු මම පූසයි වැපයි අභියයි එක්ක මළගෙදර යනවා“. කිව්ව විතරයි අම්ම මම දිහා පුදුමවෙලා බැලුවෙ නිකං “මේ අවුරුදු කටේ කොහෙද පුතා මේ සත්තු තුන්දෙනෙක් එක්ක යන්න හදන්නෙ“ වගේ බැල්මක්. 
මොනව කරන්නද පූස මිසක් ඉතිං නම මතක තියෙන එකක් යැ.

ඔන්න කොහොම කොහොමින්හරි කස්ටිය සෙට් කරගෙන හයිලෙවල් එක දිගේ බොහෝම පරිස්සමෙන් මම ඩ්‍රයිව් කරං යනව කියමුකෝ. රත්නපුරේටත් ආවා.. එතනිං පැල්මඩුල්ලට. 
මයින්ද මාමා පාරවල් ඔක්කෝම නියමෙටම කාපට් කරලා කිසි කරදරයක් නැහැ. ටික දුරක් යනකොට හම්බවුණේ නිකං ඉද්ද ගැහුවා වගේ තියෙන හරියක්. 
පාරේ වැඩිපුර වාහනත් නැහැ. මගේ ඉස්සරහින් වාහන තුනක් විතර යනව කියමුකෝ. 
අනිත් පැත්තෙත් වාහන නැති හින්ද මට ඔය වාහන තුන හතර ඉස්සර කරලා දාන්න කොහෙවත් නැති දොල දුකක් පහල වුණා. 
මටත් ආයෙ දෙතුන් පාරක් හිතන්න ඕනෙවුණෙ නෑ. රූං ගාලා දැම්මා. අන්තිමට තිබ්බ කාර්එක ඉස්සර කරනකොටම මෙන්න ඉන්නවා බැබළි බැබලී තරු ගහපු සාලහාමි කෙනෙක්. තව පොඩි රාලහාමි කෙනෙකුයි ට්‍රැෆික් බයික්කුවකුයි එක්ක. 
ඇතුළෙ හිටපු එවුන් කෑගහන්න ගත්තා දාපං දාපං දාපං කියල. මාත් ඉතිං රුං ගාලා වමට දැම්ම. 
හැබැයි දැම්මට වැඩක්වුණේනෑ අර රාළහාමි විසිල් එක ගැහුවෙ පාර මැදටම පැනල. හරියට මං පැනල යයි වගේ. 
දැං ඉතිං හරිනේ. ඕක තමයි කරගන්න ඕනෙවෙලා තිබ්බේ. ලයිසන් කාරිය හොයං හීං සීරුවෙ අපි එතනට කිට්ටු කළා.

මහත්තය මොකද්ද දන්නවද කරපු වැරැද්ද.

ම්හු.. සද්ද නෑ

ඔහොමත් දානවද මේවගේ තැන්වල ආ... මේ දවස් දෙක තුනට මේ ඒරියා එකේ ඇක්සිඩන්ට් නං කීයක්ද. කී දෙනෙක් මැරුණද.

නෑ රාළහාමි අපි මේ මළ ගෙදරක යන ගමං. “කොළඹ“ ඉඳන් එන්නෙ.

හරි ඉතිං කොහේ ගියත් ඔහොම ගියොත්නං යන්න වෙන්නෙ කොහාටද කියල මම අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ. හරි ඕ ගොල්ලො 4ට විතර පොලිසියට එන්න බලන්න. 

කියල ටෙම්පරරි කොලේ දුන්නෙ නෑතෑ අතට. වරද “අන්තරාදායක රිය ධාවනය“ 

මොනව කරන්නද අපිත් ඉතිං පොලීසියට එන පාර එහෙමක් අහගෙන හා කියල ආපහු පිටත් වුණා.
මම හිතුවෙ කොහොමහරි හවස පොලිසියට ගිහින් ෂේප් පාරක් දාගන්න පුළුවන් වෙයි කියලයි. එහෙම හිතල හිත හදාගෙන අපි යන්න ගිය වෙනියගෙ ගෙදරට යන්න පිටත්වුණා.
තුන් හතර තැනකින් පාර අහගෙන කෝම කෝම හරි මළගෙදරට ගියා. ගිහින් අපේ සෝකය එහෙම ප්‍රකාශ කරල, දුක වැඩි කමට හබුං ටිකකුත් කාලම ආපහු එන්න පිටත්වුණා.
පිටත්වුණා කිව්වෙ කහවත්ත පොලීසිය හොයාගෙන. ඒ වෙනකොටත් කහවත්ත පොලීසිය නම කිව්වම බයවෙන පොලිසියක් ගාණට වැටිල ඉවරයි. 
පොලිසිය තියෙන්නෙත් හදිස්සියකදි ලේසියෙන් හොයාගන්න එහෙම පුළුවන් තැනක එහෙමත් නෙමේ. 
අපි කොහොමහරි පොලිසිය පහුකරන් ගිහින් තමයි පාරෙ හිටපු මනුස්සයෙක්ගෙන් ඇහුවෙ කෝ මේ පොලිසිය මේ හරියෙ නේද තියෙන්න කියලත්. 
එතන ඉස්සරහ වාහනයක් දාන්නවත් ඉඩක් තිබ්බෙ නැහැ. කාර් එක ඇතුලෙ හිටපු එවුන්ගෙ කීම අහල මමත් පොර වගේ රුං ගාලා පොලිසිය ඇතුළට දාල නැවැත්තුවා. වාසනාවට වගේ කවුරුහරි ලොක්කෙක් හිටියනං ඒ වැරැද්දට තමයි ඉස්සෙල්ල මොනවහරි හම්බවෙන්න තිබ්බෙ. කොහොමහරි එහෙං මෙහෙං දෙන්නෙක් අපේ දිහා බැලුවා ඇරෙන්න එතනින් එහාට දරුණු යමක් සිද්ධ වුණෙ නෑ. 
පස්සෙ තමයි දැක්කෙ “පොලිස් වාහන පමණි“ කියල ගහල තියෙනව නේද කියලත් දැක්කෙ.
එතනිං එහාට ගිහින් ඔන්න අපි ට්‍රැෆික් අංශෙ කොහෙද කියල අහගෙන ලයිසන් එක එහෙම ආරක්ෂිතව තියෙනවද කියල විපරං කළා. ම්හු.... ලයිසන් එක තියා එතන රාජකාරි කරපු සාලහාමිල වත් තාම පොලිසියට ඇවිල්ල නෑලු.

තවත් පැය බාගයක් විතර වැනි වැනී පූසගෙයි අබියගෙයි වැපාගෙයි නයි අහගෙන ඉන්නවුණා. පස්සෙ කට්ටියගෙම සාමූහික අදහසකට අනුව ආප්පයක් දෙකක් ගිල දැමීමේ පරම පිවිතුරු අදහසින් අපි ආපහු පොලෝසියෙන් පසුබැස්සා.

පැයකට විතර පස්සෙ ඒ ඔක්කොම වැඩ ඉවර කරල ආයිත් වතාවක් අපි පොලිස් ස්ථානය වෙත වාර්තා කළා. ඒ පාර නං වාහනේ පොලිසිය ඇතුළට නොදාන්න මට මොලේ පහලවෙලයි තිබුණේ.

ඒත් ඉතිං අපේ කාල වේලාවේ තියෙන හොඳ කමට තාමක් ලයිසම සහ රාලහාමිලා පොලිසිය පැත්ත පළාතකටවක් ඇවිල්ල තිබුණේ නෑ. දැන්නං කට්ටියටම හොඳටම එපාවෙලයි තිබුණේ. ඔන්න ඔය විදියට අපිට තවත් පැයකට වැඩියෙන් විතර වැපාගෙ පූසගෙ අබියගෙ පොරටෝක් අහ අහා ඉන්න සිද්ධවුණා.

මේ අතරෙදි අපිට ඇහෙනව කනට ඉතාමත්ම මිහිරි සද්දයක්. අපි නොඉවසිල්ලෙන් බල බලා ඉඳපු මහා ට්‍රැෆික් බයික් රාජයාගෙ සද්දෙ. හරි ඒක තමයි බයික් එක.
ට්‍රැෆික් ඕ අයි සී එක්කම හිටපු අනිත් රාලහාමිත් අපිට අඳුන ගන්න පුළුවන් වුණා. ඔන්න ටික වෙලාවකින් නිකං පොඩි වලියක් වගේ සද්දයක් ඇහිච්ච හින්ද අපිං නිකං කිට්ටු කරල බැලුවා. 
වලියක් නෙමේ පොඩි කේස් එකක්. බුවාගෙ බයික් එක දාපු තැන වෙන මොකද්ද වාහනයක් නවත්තලා. පොඩි වැස්සකුත් වැටෙනව වගේ.... ඒකයි මේ තදවෙලා තියෙන්නේ.
මේ ඔක්කොම ඉවරවෙනකං බලං ඉඳලා අපි හිමිං සීරුවේ මෑන් ලඟට කිට්ටු කළා පොඩි ෂේප්මන්ට් එකක් දාගන්න පුළුවන්ද බලන්න.

මෙන්න මෙයා දැන් හොඳටම වෙනස්වෙලා. අපිට පොලිසියට එන්න කියපු එක මේ චුට්ටට අමතක වෙලා ගිහිල්ලා. දැන් ඉතින් මොනවද කරන්නේ ලියලනෙ තියෙන්නේ ලු. ඒ මදිවට දඩයක් නෑලු උසාවිලු.
දැන් ඉතිං මොනව කරන්නද. යකෝ මේ ටික කලින් කිව්වනං අපි මෙච්චර රස්තියාදු වෙන්නෙ නෑනෙ. සාලහාමිගෙ නෑදෑ පරම්පරාවම අපිට මතක්වුණේ අන්න ඒ වෙලාවෙදි තමයි.

දන්න තරම් දේවල් කිව්වත් වැඩක් වුණේ නෑ. ඕක ඕගොල්ලන්ට ප්‍රශ්ණයක් වෙන්නෙ නෑ. රුපියල් 1000යි දඩේ. අනං මනං ටෝක්ස් ගොඩාරියයි.
දැං ඉතිං වෙන මොනව කරන්නද. නැට්ට පිටිං අලි මැරෙන එකේ මේක මොකද්ද කියල හිත හදාගෙන අපි ආපහු එන්න ආවා. 

දැං ඉතිං පලයල්ලකො රුපියල් 1000 ගෙවන්න උසාවි.

පහුවදා සිංහල අවුරුද්ද කලින්ම උදාවුණා වගෙයි මට නං හිතුණෙ.

මේ කතන්දරේ එක දිගට ලියන්න බෑ වගෙයි මට දැං හිතෙන්නේ. ඉතුරුටික දවසකින් දෙකකින් ලිව්වොත් අවුලක් නෑනේ. අනික කහවතතේ මර්ඩර් කේස් එකේ විත්තිකාරයො මාත් එක්ක ඔහොම මෙහෙම හිටපු හැටි එහෙමත් ලියන්න තියෙනවනේ. තව කෑල්ලකින්ම ඒ ටික කියමු නෙහ්.