Friday, November 23, 2012

ලිප්ටන් සීට් බලමු




කලින් දවසේ රේල් පාරෙ ඇවිදපු මහන්සියටත් එක්ක අපිට ඇහැරෙනකොට ටිකක් විතර දවල්වෙලා. 
අද ප්ලෑන් එක වුණේ හපුතලෙන් දඹේතැන්න හරහා ලිප්ටන් සීට් යෑම. අපේ හේරා පුතා නං කීප සැරයක්ම මෙහේ ඇවිල්ල තියෙනහින්දා අත්දැකීමෙන්ම වගෙ කිව්වෙ යනවනම් උදෙන්ම යන්න ඕනෙ නැත්නම් මීදුම තමයි බලල එන්න වෙන්නෙ කියල. 
මොනව වුණත් ඕනෙ එකක් කියල අපි ලිප්ටන් සීට් බලන්න යන්න පාරට බැස්සා. එතකොටත් හපුතලේ ඉඳලාම හොඳටම මීදුම. හිටපු ගමන් පාර ක්ලියර් වෙනවා ඒත් එක්කම සම්පූර්ණයෙන්ම වැහිලා යනවා. 
මේ තියෙන්නෙ යන ගමන් ගත්ත ෆොටෝ එකක්. ඔය ඉන්නෙ සේරා තමයි. 




පේනවනෙ හතරවටේම තත්වෙ. ඒ කියන්නෙ පේන විදියට මීදුම් ගුලියක් බලල එන්න තමයි වෙන්නෙ.

මේ තියෙන්නෙ හපුතලේ සිට ලිප්ටන් සීට් දක්වා රෝඩ්මැප් එක. 




හපුතලේ ඉඳන් කිලෝමීටර් 8-10 ක් විතර ගියාම හම්බවෙන්නෙ දඹේතැන්න නගරය. මෙතන තමයි තෝමස් ජේ. ලිප්ටන් මහත්තයාගෙ පරණ තේ ෆැක්ටරියත් දැන් අළුත් ෆැත්ටරියත් තියෙන්නේ. 
මේ තියෙන්නේ එකක්. 




ලෝකයේ තවමත් හොඳම කළු තේ හැටියට සැලකෙන්නේ මේ වතුයායවල්වල වැවෙන තේ තමයි. දඹේතැන්න පහුකරගෙන ඉහළට යනකොට පහලින් දුවන අපි ආපු මාර්ගය තමයි මේ පහලින් පේන්නේ. 






ටිකවෙලාවකට මීදුම නැතිවෙලා හොඳට පැහැදිලිව පාරත් පෙනෙන්න ගත්තා. ඒත් තවත් උඩට යනකොට ඒ ඔක්කෝම කණපිට හැරිලා ගියා. ලිප්ටන් සීට් වලට යනකන් දිගටම වාහනේක යන්න බැහැ. තාමත් පාර හදනවා.




ඒත් තව ටික දවසකින් නම් ඔක්කොම වැඩ ඉවරවෙන පාටක් තමයි තිබුණේ. ඒක හින්දා අපිට ගමනාත්තයට කිලෝමීටර් 1.5 ක් විතර මෙහායින් ඉඳලා පයින් යන්න සිදුවුණා. 








ඒත් ඇත්තටම මේ අන්තිම ටික නම් පයින්ම යන එක තමයි හොඳ. මුළු තේවතු යායම ඇහැ පිරෙන්න බලාගන්න පුළුවන්. මේ තියෙන්නෙ එතන ඉඳන් උඩහට පාර. 



දැන් අපි යන්නෙ අඩි 6000 සීමාවේ. ලිප්ටන් සීට් පිහිටලා තියෙන්නෙ හරියටම අඩි 6450 ක උසකින්. 
මෙතන ඉඳන් තමයි සර් ලිප්ටන් එයාගෙ තේ වතු දිහා බලාගෙන හිටියා කියල කියන්නෙ.
මේ පහළ පින්තූරවල තියෙන්නෙ  ලිප්ටන් සීට්.








ඇත්තටම ඒ විතරත් නෙමේ මෙතන ලෝක ප්‍රසිද්ධ නැරඹුම් ස්ථානයක් (හරියටම කිව්වොත් 360' view point එකක්). 

මෙතනට ලංකාවේ පළාත් 9 න් 5 ක්ම පේනවාලු. ඒව තමයි ඌව, සබරගමුව, දකුණ, නැගෙනහිර, සහ මධ්‍යම යන පළාත්. හම්බන්තොට වරාය, සූරියවැව ග්‍රවුන්ඩ් එක, මඩකලපුව, පාසිකුඩා, කිරිගල්පොත්ත, කිකිළියාමාන, මත්තල එයාපෝට් එක,  ගාල්ල, මාතර ඔක්කොම පේනවාලු. 

මෙතන 'ලු' යන්නක් දාලා කිව්වෙ අපිට නම් මඩකලපුව තියා අඩි 2 ක් එහායින් හිටපු එකාව වත් පෙනුනෙ නැති හින්දයි. මේ විස්තර ඔක්කෝම කිව්වෙ එතන ඉන්න රවී අයියයි. එයා තමයි රු 20 ක ටිකට් එකක් කඩල දීල එහෙම සියළු තොරතුරු ලබාදෙන්නෙ.
මේ තියෙන්නෙ ලිප්ටන් මහත්තයා වාඩිවෙලා වටපිටාව නරඹපු සීට් එක හෙවත් ලිප්ටන් සීට් එක නමින් හඳුන්වන ගල් කුට්ටිය.



ඒ වෙලාවෙ එතන ඉඳන් බැලුවාම පෙනුණෙ මෙච්චරයි.


කොහොමද මීදුමේ ඝනකම



මෙතන තමයි මීට මාසෙකට විතර කලින් වැස්ස වෙලාවකදි අකුණු ගහන හැටි ෆොටෝ ගන්න හදද්දි ඒ අකුණු සැරයක්ම වැදිල කොරියන් කපල් එකක් මියගිය තැන. මේ දුඹුරුපාටට ඇඹරිලා ගිහින් මැරිල තියෙන්නෙ අකුණ වැදිච්ච ගහ තමයි. මේ හට් එක ඇතුළෙ ඉන්නැද්දි තමයි ඒ අවාසනාවන්ත සිද්ධිය වෙලා තියෙන්නෙ.




වෙලාව 10.30ට විතර ඇති. මීදුම අයින්වෙන පාටක් නම් පේන්න නැහැ. රවී අයියත් කිව්වෙ දැන්නම් කොච්චර වෙලා හිටියත් පහල පේන එකක් නැහැ කියලයි. 
මේ දවස්වල මෙතන බලන්න නම් උදේ පාන්දරම එන්න ඕනෙලු. තව ටික වෙලාවක් යනකොට මීදුම තවත් වැඩිවුණා. ඒක හින්ද ඉතින් අපිත් ආපහු හැරිල ආවා. 



Tuesday, November 20, 2012

රේල් පාරේ පයින් - පට්ටිපොළ ඉඳන් හපුතලේට





එක එක කාලෙට අපිට එක එක විදියේ උණ හැදෙනවනෙ. 
මේ දවස්වල අපි කීපදෙනෙක්ට හැදුණ උණ වර්ගය තමයි රේල් හයික් උණ. 
ඒ කියන්නෙ අර අපූරුවට කෝච්චිදුවන රේල් පාරෙ කෝච්චියෙ යන්නෙ නැතුව, සීතලේ වැස්සෙ මීදුම අතරෙන් කිලෝමීටර් 25ක් විතර පයිං ඇවිදං යන්න. 
හරියටම ගිය සතියෙ සඳුද තමයි කට්ටියට ඊමේල් චැට් ආධාරයෙන් අදහස දැම්මෙ. ලෝක විනාසෙටත් තව මාසයයි තියෙන්නෙ. වැඩිම වුණොත් වීක්එන්ඩ් 4 ක් තියෙයි. කල්දාන්න විදියකුත් නැහැ. කොහොම කොහොමහරි සඳුදා හවස්වෙනකොට සිකුරාදා නයිට්මේල් එකේ ටිකටුත් බුක්කරලා ඉවරයි. 
දැන් මෙහෙමයි ප්ලෑන් එක. සිකුරාදා රෑ 8ටේ කෝච්චියෙ පට්ටිපොළට ගිහින් උදේ වෙනකං පැය 2ක් විතර ස්ටේෂන් එකේ ඉඳලා පට්ටිපොළින් රේල් පාර දිගේ හපුතලේ යන්න. 
ඊට පස්සෙ රෑ වෙනකොට කොහොමහරි දියතලාවට යන්න. 
මොකද අපේ රෑ කෑමයි නවාතැනුයි තියෙන්නෙ අපිත් එක්කම ගිය එකෙක්ගෙ ගෙදර හින්දා. ඒකා තමයි ඔය පහල ෆොටෝ වල නිල් ටී ෂර්ට් එකක් ඇඳන් ඉන්න මං සයිස් විතර(මං තරං උස නං නෑ) එකා. 



ඊට පස්සෙ හපුතලේ පැත්තෙ පොඩි රවුමක් ගහල රෑ වෙනකොට කොළඹට එන්න.
ඔන්න ඔය ටික ප්ලෑන් කරගෙන සිකුරාදා හවස්වෙනකොට ස්ටේෂන් එකට යන්න ලෑස්තිවුණාට හවස 6 ට විතර පොඩ් අප්සෙට් මෙසේජ් එකක් ආවා. 
ඒකෙන් කිව්වෙ උඩරට මැණිකෙ පීලිපැනල හින්දා කෝච්චි ප්‍රමාදයි කියලයි. මේක දැක්ක මගෙ යාළුවෙකුත් මට කෝල් කරල විස්තරේ අහල ස්ටේෂන් එකේ නම්බර් එකත් එව්වා කෝල් කරල වැඩි විස්තර අහගන්න. 

මමත් හිතුවෙ කෝච්චිය ටිකක් ප්‍රමාදවෙනව ඇරෙන්න වෙන මුකුත් වෙන එකක් නෑ කියලයි. ඒත් මෙන්න කෝල් කරපු ගමන් අනිත් පැත්තෙ රෙකෝඩින් එකක් යනව වගේ කටහඬකින් ඇහුණෙ නයිට්මේල් එක කැන්සල් රිසවේෂන් තියෙනවනම් සල්ලි ආපහු ගන්න පුළුවන් කියල. 

මොනව කියන්නද මාත් ඉතිං හා කියල ෆෝන් එක තිබ්බා. කෝච්චිය කැන්සල් වෙනව කියන එකට ප්ලෑන් බී එකක් තිබ්බෙ නැති හින්ද අපි පොඩ්ඩක් විතර අප්සෙට් වෙලා තමයි හිටියෙ. ඒ ගැන හිතන ගමන් කෝකටත් අපි කොටුවෙ ස්ටේෂන් එකට සෙට් වුණා. කෝච්චිය නම් කැන්සල්, කන්ෆර්ම්, සල්ලිත් ආපහු ගන්න පුළුවන් වුණා.

ඊළඟට අපි තීරණය කළා බස්එකේ නැඟල නුවරඑළියට යන්නත් එතනින් පට්ටිපොළට යන්නත්. එහෙම හිතාගෙන රෑ 10ට කොටුවෙන් පිටත්වුණ නුවරඑළි බස්එකේ නැග්ගා.
පැය 5, 1/2 කට පස්සෙ බස්එක නුවරඑළියෙ. 
වෙලාව පාන්දර 3.30 යි. 
පට්ට සීතලේ බලුබල්ලෙක් නැති නුවරඑළියෙ බස්ස්ටෑන්ඩ් එකේ හොඳවෙලාවට ත්‍රීවීලර් අයියකෙනෙක් හිටිය. අපි එයාට කතාකරල උදේ වෙනකන් ඉන්න රූම් එකක් හොයාගත්ත. ටිකක් විතර සැර සර්විස් චාර්ජ් එකක් ගත්තත් වෙලාවෙ  හැටියට ඒක ලොකු දෙයක්.
ඔන්න ඉතිං පැය 3ක පොඩි නින්දකින් පස්සෙ උදේ 7ට නැගිටල අපි 8ට නුවරඑළියෙන් පිටත්වෙන පට්ටිපොළ බස් එකේ පට්ටිපොළ ස්ටේෂන් එකට ආවා. 
උදේ කෑම එතනින් අරන් කෝච්චිපාර දිගේ හපුතලේ බලා යන්නයි දැන් අපේ සූදානම. 
මේ තියෙන්නේ පට්ටිපොළ ස්ටේෂන් එක.



කවුරුත් දන්නවනෙ මේක තමයි ලංකාවෙ උසම දුම්රිය ස්ථානය. උස මීටර් 1891 යි. මෙතන ඉඳන් හපුතලේට රේල් පාර දිගේ කිලෝමීටර් 23ක් තියෙනවා. ඒ අතරෙ බිම්ගෙවල් 19ක් හමුවෙනවා. ඒ අතර සුවිශේෂම උමඟ තමයි අංක 18 වන බිම්ගෙය. දිග මීටර් 329 යි. මේක තමයි ලංකාවෙ තුන්වෙනියට දිගින් වැඩිම බිම්ගෙය. මේ ගැන විස්තරයක් කියනවනම් මේක එක අන්තයක් අයිතිවෙන්නෙ මධ්‍යම පළාතෙ නුවරඑළිය දිස්ත්‍රික්කයට. අනිත් පැත්ත ඌව පළාතෙ බදුල්ල දිස්ත්‍රික්කයට. දෙපැත්ත දේශගුණික කලාප දෙකකට අයිති වෙන්නෙ. ඒ වෙනස ඇඟට දැනෙන තරමේ වෙනසක්. නුවරඑළිය පැත්ත තෙත් සිසිල් ගතියක් තියෙන්නෙ බදුල්ල පැත්ත වියළි සිසිල් ගතියක් තියෙන්නෙ.
උමං අංක 18ට කලින් අපිට හම්බ වෙනවා උඩරට දුම්රිය මඟේ උසම ස්ථානය හෙවත් summit level එක. මේ තියෙන්නෙ එතන. උස අඩි 6228 යි.





ඊට පස්සෙ තමයි 18 අංක 18 වෙනි බිම්ගෙය. මේ තියෙන්නෙ උමං විවරය.




මේක දිගින් වැඩි නිසාත් වංගු සහිත නිසාත් ඇතුළට තිත්ත කළුවරයි. අපි ටෝච් 2-3 ක් ගෙනිච්ච හින්දා අවුලක් වුණේ නෑ. ඇතුළත බොහොම තෙතයි, අඳුරුයි. වවුලො පිරිල. මේ අත්දැකීම නම් ලියල පෙන්නන්න බැහැ. ගිහිල්ලම තමයි අත්විඳින්න ඕනි. 
මේ තියෙන්නෙ ඇතුළෙදි ගත්ත ෆොටෝ.



ටික දුරක් ඇවිදගෙන යනකොට ඔන්න ඈතින් අනිත් කෙළවරේ එළිය පෙනෙන්න පටන් ගත්තා. ඒත් අපි ඉස්සරහට යනකොට එළියත් ඉස්සරහට යනව වගේ තමයි දැනුණෙ. 








කොහොම කොහොමහරි අලුත්ම අත්දැකීමක් එක්ක අපි අනිත්පැත්තෙන් එළියට ආවා. එතන ඉඳල ඔහිය ස්ටේෂන් එකට දුර කිලෝමීටර් 6.7 ක්. ඒ අතරෙදි දුම්රිය උමං 4ක් හමුවෙනවා. මේ තියෙන්නෙ ඒවා තමයි.



මෙතනදි අපිට ඈතින් එක කෝච්චියට සද්දෙ ඇහුණා. ඒ වගේම මීටර් 200ක් විතර අපි ඉස්සරහින් උමඟකුත් තිබුණා. උමඟ ඇතුළෙදී කෝච්චිය පාස් වීමේ අත්දැකීම විඳගන්න ඕනෙවුණ අපේ එකෙක් කොච්චිය එන්න කලින් කොහොමහරි උමඟ ඇතුළට දිව්වා. මේ තියෙන්නෙ ඒ වෙලාවෙ ෆොටෝ එකක්.





ඔහොම ඇවිදගෙන වටේම සුන්දරත්වය බලාගෙන අපි ඔහියට ළඟාවුණා. 

ලැව්ගින්නේ නටබුන්



කෝච්ච්යෙ ගිහිල්ලා දකින්න බැරි අංශක 360ක දසුනක් බලාගන්න නම් ඉතින් මේ වගේ ගමනක් එන්නම වෙනවා. වටේ පිටේ ලස්සන ගැන පොඩි අවබෝධයක් පින්තූර වලින් ලැබුණට ඇත්තම අත්දැකීම නම් ඇඟටම දැනුණාම තමයි සම්පූර්ණ වෙන්නේ.



අපිව පහුකරන් ආපු කෝච්චියත් මේ ඔහියට වෙලා බලං ඉන්නෙ සිග්නල් නැතුව.



මෙතන ඉඳන් අපි යන්නෙ ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය වෙතයි. ඒ කියන්නෙ තවත් කිලෝමීටර් 9ක දුරක්. මේ කිලෝමීටර් 9 ඇතුළෙ තමයි ලංකාවෙ වැඩිම දුම්රිය උමං ගණනක් පිහිටා තියෙන්නෙ. ගණන 14ක්.





ටික දුරක් එනකොට මුළු පළාතම ඝන මීදුමෙන් වැහෙන්න පටන්ගත්තා. ලස්සන නම් කියල වැඩක් නෑ. 




සීතලත් ඒ වගේමයි. උෂ්ණත්වය 17’C යි. මඟ දිගට මේ දාලාතියෙන්නෙ ඒ හරියෙ පින්තූර තමයි.










අපි ඉදල්ගස්හින්නට එනකොට මීදුමයි හුළඟයි එක්ක පිණිකැට කලවම්වෙලා හමන්න පටන් ගත්තා. 



ඉදල්ගස්හින්න ස්ටේෂන් එක තමයි මේ තියෙන්නෙ. 




එතන ටික වෙලාවක් ස්ටේෂන් මාස්ටර් එක්ක කතා කර කර ඉඳල අපි ආපහු හපුතලේ බලා ගමන් ආරම්භ කළා. 
මෙතනදි තමයි මේක දැක්කෙ. ඒ කියන්නෙ මේකෙ විදියට අපිට අච්චු. ඒත් දැන් මානූෂීය හේතූන් මත මේ නීතිය ක්‍රියාත්මක වෙන්නෙ නෑලූ.



හපුතලේට මෙතන ඉඳලා කිලෝමීටර් 7.5 ක් තියෙනවා.
දැන්නම් පරිසරයම ගොඩත් අඳුරුයි. වැහි බීරුමත් එක්ක එකතුවුණාම නම් තියෙන්නේ විස්තර කරන්න බැරි අමුතුම හැඟීමක්. බදුලු කෝච්චියෙ සෑහෙන්න ගිහින් තිබුණත් මේ විදියට නම් කවදාවත් දැනිලා නැහැ.
අපි දැන් යන්නේ තංගමලේ අභයභූමිය හරහා. මුලින් තංගමලේ හරහා ගිහින් ඇඩිෂම් බංගලාව හරහා හපුතලේට යන්න හිටියත් කාළගුණ තත්වය හින්දා අපි රේල්පාර දිගේම යන්න තීරණය කළා.




වෙලාව හවස 4 විතර වෙනකොට අපි අපේ ගමන නිමාකරල හපුතලේ බොරලන්ද පාර හමුවෙන තැනට ආවා.
මෙතන ඉඳන් ඊළඟට හපුතලේ නගරය හරහා දියතලාවේ අපේ හේරාගෙ ගෙදර යන එක තමයි ප්ලෑන් එක. අපි හපුතලේට එනකොට හොඳටම මීදුම. 




මේ ෆොටෝ එකෙන් පේනවා කොච්චරද කියල. හේරා කිව්ව විදියට හපුතලේ තමයි ලංකාවේ කොයිවෙලාවෙ කොහොම කාළගුණයක් තියෙයිද කියල කියන්න බැරි ස්ථානයක් විදියට අඳුන්වල දෙන්න පුළුවන්.

මෙතන ඉඳන් අපි බස් එකේ නැංගේ හේරාගෙ ගෙදර ගිහින් උණු උණු තේ එකක් බීලා, හේරාගේ අම්මගෙයි තාත්තගෙයි ආගන්තුක සත්කාර විඳගෙන සීතලේ ගුලිවෙලා නිදාගන්න හිතාගෙනයි. 

තවත් එකක් කියන්න ඕනෙ. හේරගෙ ගෙදර තියෙන්නෙ දියතලාවෙ කඳුවළල්ලක් මැද. එහා පැත්තෙ කන්න වටේම කෝච්චය යන විදිය උඩතට්ටුවට නියමෙටම පේනවා.කෝච්චියේ සද්දෙන් කරදරයක් නැහැ වගේම කන්ද වටේට තැනින් තැන පෙනී නොපෙනී කෝච්චිය යන හැටි බලාගන්න පුළුවන්. 
ඒකනෙ අපි මොනවහරි සෙට් කරගෙන මාස අවුරුද්දකට වතාවත්වත් මේ පැත්තෙ ගාටන්නෙ.

පහුවදා අපි ලිප්ටන් සීට් බලන්න ගිය හැටි ලියන්න හිටියත් දැනටත් මේක දිගවැඩී වගේ හිතෙන හින්දා ඒ විස්තරේ අරන් තව පෝස්ට් එකකින් එන්න හිතාගෙන ගිහින් එන්නං. 

ආ.. ඔක්කොම ෆොටෝ ටික බලන්න ඕනෙ නම් මෙතනින් ෆේස්බුක් ඇල්බම් එක බලන්න