Sunday, July 31, 2011

හයියෝ.. මගෙ බ්ලොග් එක

බ්ලොග් ලියන්න පටන් ගත්ත ගොඩක් අයට වෙච්ච දේ මටත් වුණා.
හැමදාම හෙට ලියනවා.. හෙට ලියනවා.. කියලා හිත හිත හිටියා මිසක් ලියන්න වෙලාවක් හම්බවුනේ නැහැ. 
අනිත් එක හැමදාම බලන බ්ලොග් ටික කියවලා ඉවරවෙනකොට වෙලාවත් ඉවරයි. කමෙන්ට් එකක් වත් දාන්න වුණේ නැහැ. 
සින්ඩිකේටර වලිනුත් මාව අයින් කරලා ඇති. මේක පෝස්ට් කරල බලන්න ඕනෙ මොන මොන ඒවා වලද තාම ඉතුරුවෙලා ඉන්නෙ කියල.

ලියන්න පටන් ගත්ත එකේ පහුගිය දවසක මම ගිය ට්‍රිප‍් එකක් ගැන විස්තරයක් කියල දාන්න හිතුණා. මේක ටිකක් විතර ලොකු වටයක්. 
ඒ කිව්වෙ හොරණ හරියෙන් පටන් අරන් රත්නපුර සංඛපාල විහාරය, උඩවලව හරහා තිස්සමහාරාමයට ගිහින් කතරගම බුත්තල හරහා මොණරාගලට ගියා. එතනින් සියඹලාණ්ඩුවට. එන ගමන් දියළුම හපුතලේ හරහා බඹරකන්ද ඇල්ලත් බලාගෙන තමයි ආවෙ. 
කියල වැඩක් නෑ මහින්ද මාමා පාරවල් ටික ඔක්කොම නියමෙටම කාපට් කරලා. කාපට් නැති හරියක් කියල හම්බවුනේ ගෙදර ඉදන් 120 පාරෙ ටික දුරකුත් වැල්ලවාය - බෙරගල පාරත් විතරයි.

උඩවලවෙදි පාර අයිනටම වෙලා හිටපු හීලැ වෙච්ච වල් අලි (සොරි සොරී වන අලි) එහෙම බලාගෙන ඉස්සරහට යනකොට මෙන්න බොලේ ගිනි අව්වෙ පාර මැද ඉබ්බෙක්. 
ගල් ඉබ්බෙක් නෙමේ තාරකා ඉබ්බෙක්ද කොහෙද  පාර මාරු වෙනවා සූ ගාලා. මේ ඉන්නෙ බලා ගන්න...



ඉක්මණටම පාර මාරුවෙච්ච හින්ද වැඩි වෙලාවක් බලාඉන්න වුණෙත් නෑ ඕං..
මෙන්න අලිත් ඉන්නවා...



කොහොමහරි කතරගමටත් ගිහින් එතනින් බුත්තලට එන්න පිටත් වුණා. 
පාර වැටිල තියෙන්නෙ ලුණුගම්වෙහෙර යාල වනෝද්‍යාන මැදින්. බුත්තලට කිට්ටු වෙනකම්ම ගෙවල් දොරවල් මොනවත්ම නැහැ. වාහනත් 2-3 කට වැඩිය හම්බවුණේ නැහැ.
මේ පාරෙදි තමයි 2008 දී විතර කොටි, සීටීබී බස් එකකකට වෙඩි තිබ්බෙ. ඒ කාලෙදි පාර දෙපැත්ත මීටර් 200 කි විතර කැලේ කපල එළි කරල තිබුණ හරියෙ තාමත් පොඩි පදුරු හැරෙන්න මොනවත් වැවිල නැහැ. මෙන්න පාර..



කොහොම කොහොම හරි ගිහින් අපි සියඹලාණ්ඩුවට ලං වුණා. එතන ඉදලත් කිලෝ මීටර් 6 ක් විතර අම්පාර පැත්තට. 
ආ.. කියන්න අමතක වුණා.. ඉස්සර ගුරුවරුන්ට මුලින්ම ගෙවල් ලගින්ම ඉස්කෝල වලට පත්වීම් දෙන්නෙ නෑ. දුෂ්කර පළාතක ටික කාලයක් සේවය කරන්න ඕනෙ. ඒ විදියට අපේ තාත්තට හම්බවෙලා තිබුණේ සියඹලාණ්ඩුවෙ අළුගල්ගේ කියන ඉස්කෝලෙ තමයි.
මේ අපි අවුරුදු 20 කට විතර පස්සෙ ආපහු එහේ ගිය ගමන.
මේ පින්තූරෙ තියෙන්නෙ ඒ එකම පාසල් ගොඩනැගිල්ල... තාමත් ඒ විදියමයි.. කිසිම දියුණුවක් වෙලා නැහැ.



හැබැයි මිනිස්සුන්ගෙ ජීවන රටාම නම් සෑහෙන්න වෙනස් වෙලා.. ඉස්සර කරපු හේන් ගොවිතැන නෙමේ දැන් තියෙන්නෙ. හැම බෝගයක්ම කලවමේ වවපු හේන වෙනුවට දැන් තියෙන්නෙ බඩ ඉරිගු විතරක් එහෙම නැත්නම් වට්ටක්කා කොමඩු විතරක් වවන් හේන්. 
ඉරිගු වලට හොද මිලක් ලැබෙන හින්දා මිනිස්සු අනෙක් බෝග වර්ග වවන්නෙ නෑ. ඒ වගේම පොහොර කෘමිනාශක වල්නාශක භාවිතයත් සෑහෙන්න වැඩිවෙලා.

ඔන්න දවසක් එහේ ඇවිදලා අපි ආපහු එන්න පිටත් වුණා. ඒ එන ගමන් තමයි දියළුම ඇල්ල බලන්න ගියෙ. ලංකාවෙ දෙවෙනියට උසම ඇල්ල මම හිතන්නෙ. හරිම ලස්සනයි.

එතනින් කෙළින්ම ගියෙ හපුතලේ ඇඩිසම් බංගලාව බලන්න. 
මේ ගැන නම් ඉතින් ගොඩක් දෙනා දන්නවනෙ. දන්නෙ නැති අය අද ඉරිදා ලංකාදීප බලන්න හොද විස්තරයක් තියෙනවා. හැබැයි ඒකෙ තියෙන එක කරුණක් බොරු... නැරඹිමට සල්ලි ගන්නෙ නෑ කිව්වට රු 25 ක ටිකට් එකක් ගන්නම වෙනවා.. පාඩු නෑ හැබැයි..

යන අයට ලේසි වෙන්න පාරත් කියල දාන්නම්. හපුතලෙන් වැලිමඩ පාරෙ කිමී. 3-4 යනකොට වමට පාරක් තියෙනවා. ඒක කෙලින්ම වැටෙන්නෙ ඇඩිසම් බංගලාවෙ ගේට්ටුව ඉස්සරහට. මෙන්න පින්තූර..



හපුතලෙන් පිටත්වුණු අපි ගෙදර එන එක පොඩ්ඩක් නවත්තලා හදිස්සියෙම බඹරකන්ද ඇල්ල බලන්න යන්න තීරණය කොලා. 
හපුතලේ ඉදන් කොළඹ එනකොට හල්දුම්මුල්ල පහුකරන් ටික දුරක් එද්දි තියෙනවා බඹරකන්ද ඇල්ල බලන්න යන්න හැරෙන්න ඕන තැන. 
එතන ඉදන් කිමී. 7 ක් වගේ තියෙනව ඇල්ල ගාවට. ලොකු විස්තරයක් ඕනි නැහැනෙ ඉතින්.. මෙන්න පින්තූරෙ.. වතුර නම් යන්තම් තිබුණෙ.



එතනින් පස්සෙ වෙන කොහේවත් නැහැ කෙලින්ම ගෙදර. තව විස්තර ගොඩක් දාන්න තිබුණත් මට දැන් කම්මැලියි. හෙට උදෙන්ම මේක පබ්ලිෂ් කරලා දානවා. බලමු සින්ඩි වලින් මාව අයින් කරලද කියලා.