Tuesday, September 4, 2012

සුන්දර දුම්බර





කාලෙකට පස්සේ බ්ලොග් එක පැත්තේ එන්න හිතුණේ ගිය සතියේ අත්දකින්න ලැබුණ ඉතාමත් සුන්දර අත්දැකීමක් බෙදාහදා ගන්නයි. ඒ තමයි නකල්ස් හෙවත් දුම්බර කඳුවැටි ආශ්‍රිත ගම්මානයක දින තුනක් ගතකරන්නට ලැබුණ අවස්ථාව. 
විශේෂයෙන්ම මේ පාරිසරික කඳවුර පැවැත්වුණේ මිහිතල මිතුරෝ පරිසර සංවිධානයේ මූලිකත්වයෙන්. ගමනේ මූලික අරමුණක් වුණේ දුම්බර ආශ්‍රිත පරිසර පද්ධති අධ්‍යයනය කිරීමත් ඒ පිළිබඳ ගමේ ජනතාව දැනුවත් කිරීමත් තමයි. විශේෂයෙන්ම කැලෑ ගිනි තැබීම ආදී මිනිසා විසින් පරිසරයට සිදුකරන හානිදායක කටයුතු යම් පමණකට හෝ වළක්වා ගන්න මේ ගමනෙදි අපිට හැකියාව ලැබුණා කියල අපි හිතනවා.




මුලින්ම මේ චාරිකාවේ ගමන් මාර්ගය විස්තර කරල දෙන එක හොඳයි කියල මට හිතෙනවා. 
අපි ගමන් ආරම්භ කළේ හොරණ ප්‍රදේශයෙන්. ඊළඟට මහනුවර මාතලේ හරහා ගිහින් රත්තොට පාරෙන් රිවර්ස්ටන් හරහා පිටවල පතනටත් එතැනින් මීමුරේ බඳු ලංකාවේ තවත් සුන්දර ගම්මානයක් හැටියට හඳුන්වන්න පුළුවන් මහල්කොටුව ගමටත් එතනින් දුම්බර කඳුවැටියේ සුන්දර කඳුගැටයක් වන මානිගල තරණය කිරීමත් තමයි ගමනේ මූලික අරමුණ වුණේ.



කාලෙකට පස්සේ පහුගිය සතිඅන්තයේ ලැබුණ දින තුනක නිවාඩුව ප්‍රයෝජනයට අරන් සිකුරාදා පාන්දරින්ම අපි ගමන ආරම්භ කළා. ලොකු නිවාඩුවක් හින්දා පාරෙත් බොහොම තදබදයක් තිබුණා. 
කොහොමහරි ටිකෙන් ටික අපි මාතලේ නගරයට ළඟාවෙලා එතනින් බොහොම දුෂ්කර මාර්ගයක් වන රිවර්ස්ටන් පාරට හැරුණා. 
දුම්බර කඳුවැටියේ බටහිර බෑවුම තරණය කරගෙන යන ගමන බොහොම දුෂ්කර වුණා. ගොඩක් වංගුවලදී ගල් තියාගෙන ලී කොට දාගෙන තමයි බස්එක ගමන් කරවන්න වුණේ. විශේෂයෙන් කියන්න ඕනෙ මේ පාරෙන් යනකොට ඊට ගැලපෙන වෑන් එකක් වගේ දිග අඩු වාහනයක් යොදා ගන්නවනම් ඉතා පහසුයි කියන කාරණය. උස වැඩිවෙනවත් එක්කම වේගයෙන් සිදුවෙන උෂ්ණත්වය අඩුවීම හොඳින්ම ඇඟට දැනෙනවා. 
මේ පාරෙන් බස් දෙකක් මාරුවෙනවා කියන එක හරිම අපහසු දෙයක්. නමුත් අපිට නම් සිදුවුණා ඒකට කීප වතාවක්ම මුහුණදෙන්න. කොහොමහරි මේ අපහසුතා සියල්ල මැදින් ගිහින් නකල්ස් මුදුනට එනකොට ඒ ඔක්කෝම අමතක වෙනවා. ඒ තරම්ම අති සුන්දර දසුන් දැක බලා ගන්න පුළුවන් මේ ගමනෙදි. මේ පාර නම් අපි රිවර්ස්ටන් මුදුනට නැංගේ නැහැ. මොකද අපේ මූලික අරමුණ මානිගල නගින එක නිසා. ඒක හින්ද කෙලින්ම අපි පිටවල පතනට පල්ලම් බැස්සා. එතනදී දවල් කෑම එහෙම අරගෙන පතන හරහා පුංචි ලෝකාන්තය බලන්න ගියා. 
මේ වෙනකොට වෙලාව හවස 4ට විතර ඇති. මුළු දුම්බර කඳුමුදුන් සියල්ලම වාගේ තද මීදුමින්, වළාකුළු වලින් වැසී යමින් තිබුණා. 
මේ තියෙන පින්තූර වලින් ඒ ගැන හොඳ දසුනක් මවාගන්න පුළුවන්. විශේෂයෙන්ම දුම්බර කලාපයේ තියෙන්නෙ ඊටම ආවේණීක වුණ භූවිෂමතාවයක් වගේම දේශගුණයක්. 
ලංකාවේ වෙන කිසිම තැනකදී මීට සමාන පරිසර පද්ධතියක් දැක බලා ගන්න ලැබෙන්නේ නැහැ.





මේ තියෙන්නේ පුංචි ලෝකාන්තය.




මෙතනින් පස්සෙ අපි කෙලින්ම මහල්කොටුව ගම්මානයටයි ගමන් කළේ. කලින් ම වෙන්කරවාගෙන තිබුණ නවාතැනට යනකොට කළුවර වැටෙන්නත් කිට්ටුයි. මොනව වුණත් ඒ කිට්ටුව තිබුණු මැදි ඇලේ සීතල වතුරෙන් නාන්නත් අපි අමතක කළේ නැහැ.






එදා රාත්‍රිය නවාතැනේ ගතකරන්න අවස්ථාව තිබුණත්, වෙනස් අත්දැකීමක් ලබන්න ඕනෙවුණ නිසා අපි කිහිපදෙනෙක් කූඩාරම් වල ගත කරන්න හිතුවා. මාස අටකින් මේ පැත්තට වැහැල තිබුණෙ නැතත් ඉක්මණටම වැසි සමය ආරම්භ වන බවට ලකුණු නම් හැම අතින්ම පෙනෙන්න තිබුණා. 
මොනව වුණත් මේ තද සුළං හමන සීතල රාත්‍රියේ අපි කූඩාරම් ඇතුළට ගියේ එළිවෙනකම්ම ඉන්න හිතාගෙනයි. එහෙම වුණත් ටික වෙලාවකින් තත්වය වෙනස් වෙනව කියල අපිට තේරුම් ගියා. ඒත් එක්කම හුළඟට අපිත් එක්කම කූඩාරම ගහගෙන යයිද කියලත් හිතුණා. කොහොම හරි අපිට නින්ද ගියත් පැය 2-3 කට වැඩිය නිදාගන්න ලැබුණේ නැහැ. හතරවටින්ම වැස්ස ඇදවැටෙන්න පටන් ගත්තා. මුලදී පොඩි හිරිකඩයක් විතරක් ආවත් වැස්ස ටික ටික වැඩිවෙනකොට කූඩාරම ඔරොත්තු දුන්නෙ නැහැ. කූඩාරම මුදුනෙන් ඇතුළට වතුර ගලන්න පටන් ගත්තා. ටික වෙලාවක් ඉවසගෙන හිටියත් තත්වය එන්න එන්නම දරුණු අතට හැරෙන බව තේරුම් ගත්ත අපි කල්පනා කළා වැස්සේම නමුත් ආපහු නවාතැනට දුවන්න. අන්තිමට තෙමීගෙනම නවාතැනට ගිය අපි උදේ බලනකොට කූඩාරමත් කන්දේ උඩහට හුළඟෙන් ගහගෙන ගිහින් තිබුණා.





පහුවදා පාන්දරම අවදිවෙලා අපි ගම්මානෙන් පිටත්වුණේ මානිගල කන්ද තරණය කරන්නයි. 
කිලෝමීටර් හය හතක වගේ ගමනකින් පස්සේ අපි කන්ද පාමුලට ළඟාවුණා. 
ඒ අතරමඟදී දකින්න ලැබුණ අති සුන්දර දසුන් තමයි මේ පින්තූරවල තියෙන්නේ. තෙල්ගමු ඔයේ වැද්දා පැනි ඇල්ලෙන් එගොඩවෙලා හෙල්මළු කුඹුරු මැදින් ගිහින් අපි මානිගල තරණය කළේ එන ගමනෙදි මෙතනින් ඇතිවෙන්න නාගන්න අදහස හිතේ තියාගෙනයි.
මානිගල ගැන කියනකොට මේකෙ තිබෙන එක් විශේෂත්වයක් තමයි ඊටම ආවේණික වූ හැඩය වගේම පැරැන්නන් සෙවනැල්ල ආධාරයෙන් වෙලාව බලාගන්නට මේක උදව් කරගත්තා කියන එක. 






කඳුමුදුනට නැග්ගාම මුළු දුම්බර කඳුවැටියෙම වගේ නැගෙනහිර බෑවුමත් පිටවල පතනත් පහලින් ගම්මානයත් දැකබලා ගන්න පුළුවන්. 
මුළු කන්ද පුරාවටම වගේ කරඹ, දං, ඇඹුල්පේර ආදී පළතුරුවල රසය විඳින්න අවස්ථාව ලැබෙනවා. මෙතන සුන්දරත්වය වචන වලින් කියනවට වැඩිය හොඳම වගේම පහසුම දේ තමයි මේ පින්තූර වලින් කියන එක.
එනගමන් මෙතනින් නාගන්න අමතක කළේ නැතත් සුළු මොහොතකින් අපි කවුරුත් නොහිතපු විදියට මොරසූරන වැස්සක් පටන්ගත්තා. ඔයෙනුත් නාගෙන වැස්සටත් තෙමීගෙන මුළු දුරම ආපහු පයින් ඇවිදගෙන නවාතැනට එනකොට තුනත් පහුවෙලා. 
වෙහෙසත් එක්කම දෙතුන් ගුණයක් වැඩිවෙලා තිබුණ බඩගින්න නිවෙකම්ම දවල් කෑම කාපු අපි ඊළඟට සූදානම් වුණේ මහල්කොටුව විදුහල් බිමට රැස්වෙන්න කියල අපි කලින්ම ආරාධනා කරපු ගම්වැසියන් දැනුවත් කිරීමේ වැඩසටහනටයි. ඒකත් අපි නොහිතපු තරමටම සාර්ථක වුණා කියලයි අපිට නම් හිතුණේ.







ඔහොම මෙහෙම දෙවන දවසත් ගතකරපු අපි නින්දට ගියේ පහුවදා ඉලුක්කුඹුර හරහා දඹුල්ලට ඇවිල්ල එතනින් ගෙදර බලා යන්නයි. ඒ ගමනෙදි අඹන් ගඟත් අග්බෝ රජු කරවපු ඇළහැර අමුණත් දැක බලා ගන්න අමතක කළේ නැහැ.

ඇත්තටම මේ ගමනේ සුන්දරත්වය අකුරු වලට හරවන්න බැරිවුණත් ඒ පිළිබඳව දැනුවත් කරල ඔබ සැමටත් මේ විශිෂ්ඨ පරිසර පද්ධතියත් අව්‍යාජ ගමක සුන්දරත්වයක් වින්දනය කරන්න අවස්ථාවක් ලබාදෙන්නයි මම උත්සාහ කළේ. 
ගිහින් එන්නං.



50 comments:

  1. මේ පැති වල කීප වතාවක්ම ඇවිදලා නම් තියනවා. ඒත් මේවා දැක්කාම ආයෙත් යන්න හිතෙනවා....
    මේවා ඇත්තටම ගිහින්ම විඳින්න ඇතිනම් තමා වඩා හොඳ...

    ReplyDelete
    Replies
    1. ඇත්ත. කොච්චර ගියත් ටික දවසකින් ආපහු යන්න හිතෙන පැති තමයි මේවා.

      Delete
  2. මරු මචං... මාර ගති විස්තර ටිකක්...

    ReplyDelete
    Replies
    1. වෙලාවක සෙට් වෙලා යන්ද...

      Delete
    2. තැංකූ වේවා මාළුවෝ.

      Delete
  3. රිවර්ස්ටන් සහ පිටවල පතන ගැන නම් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ උපරිමයි :) අපිත් ඒ පැත්තේ ගිහින් දවසක් බංගලාවක හිටියා පට්ටයි

    ReplyDelete
    Replies
    1. ඔව් වෙන කොහේවත් නැහැ මේ වගේ තැනක්නම්.

      Delete
  4. අත්දැකීමෙන් වගේ දන්නවා පැණිදොඩම් අයියා සෑහෙන කලෙකට පස්සේ බ්ලොග් එක මතක් වෙලා ආවොත් ඒ එන්නේ චාරිකා සටහනක් අරගෙනයි කියලා.
    ඇති යන්තන් එහෙම හරි බ්ලොග් එක මතක් උනා...
    මොන උනත් මරු ට්‍රිප් එක..
    ෆොටෝ දැක්කම යන්න ආස හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. හිහී ඒක තමයි මල්ලී. තව ගොඩක් තැන් වලට ගියා. හිමින් සැරේ ලියල දාන්න ඕනෙ.

      Delete
  5. යන්න ඕන් තැනක් ට්‍රයි එකක් දෙන්න ඕනා

    ReplyDelete
    Replies
    1. ඉඩ ලැබුණ වෙලාවක කොහොමහරි යන්න!

      Delete
  6. ලස්සන පළාත....ඊටත් වඩා මරු ෂොට්ස් ටික......

    ReplyDelete
  7. අපූරුම අපූරු පින්තූර පෙළක් සමග අපූරු පෝස්ටුවක්! :)

    ReplyDelete
  8. අපූරු සටහනක්. විස්තර සහිත බොහෝම පැහැදිලිව ලියවුන සටහනක්. තීර්ථ යාත්‍රිකයත් ළඟදි ඔය ආශ්‍රිතව චාරිකාවක නියලුනා. මානිගල තරණය නම් බොහෝම අපූරු ඇත්දැකීමක්.

    ReplyDelete
    Replies
    1. ඔව් බොහොම සුන්දර අත්දැකීම් මේවා!

      Delete
  9. මේක කියවනකොට මට දොඩමත් එක්ක පට්ට ඊරිසියා හිතුන.... රිවර්ස්ටන් ගිහින් තියෙනවා උනාට ඔයාල ගිහින් තියෙන විදියට වැඩි සුන්දරත්වයක් විඳගන්න පුළුවන් වෙලා තියෙනව කියලයි මට හිතෙන්නෙ.... අර ෆොටෝ ටික දැක්කම ආසාවෙ බෑ.... හරිම ලස්සනයි....

    ReplyDelete
    Replies
    1. හිහී.. ඔව් මේ පැත්තෙ යනවනම් දවස් දෙක තුනක් වෙන්කරගෙන යනඑක තමයි හොඳම. එතකොට හිමීට ඔක්කෝම වගේ බලාගන්න පුළුවන්!

      Delete
  10. උදේ පාන්දර හිත පිරුන විස්තර ටිකයි පින්තූර ටිකයි බලල .

    ReplyDelete
  11. මචන් ඇත්තටම ඔය සුන්දර පරිසරයක් නමුත් දැන් දැන් ලාංකීය වගේම විදේශීය සංචාරක කර්මාන්තට ඔය පැත්තට දැනෙන්න පටන් අරන් නිසා පරිසර විනාශය ටිකක් වැඩිවේගෙන යන්නේ අන්න ඒ ගැනත් අවදානය යොමුකරන්න. අනික මචන් ඔය පරිසර පද්දතියෙ ඉන්න ගෙම්බන් විශේෂ යක් ඉන්නව ලොකේ වෙන කොහේවත් නැති අන්න ඒයාලත් විනාශවීමේ තර්ජනයට මුහුන පලා ඉන්නේ. ගිය මාර්තු මාසේ මමත් ඔය පිටවල පතන ඇටන්වල ගම වල්පිටමුල්ල ඔස්සේ දුහුවිලි ඇල්ල බලන්න ගියා ඇටන් වලිනුත් මානිගල නගින්න පුලුවන් ඇත්තටම අති සුන්දර සහ අති සන්වේදි පරිසර පද්දතියක් ස්තුතී තොරතුරු වලට

    ReplyDelete
    Replies
    1. හරියටම හරි මචං. දිග වැඩිවෙන හින්දා වැඩිපුර විස්තර ලිව්වෙ නැති වුණාට මෙහෙ තියෙන ජෛව විවිධත්වය ගැන කියන්න දේ බොහොමයි. 'දුම්බර ගල්පර මැඩියා' වගේම 'පතන් අල' විශේෂයත් මෙහෙටම ආවේණිකයි. ඇටන්වලින් දුහුවිලි ඇල්ලට ගිය ගමන නම් නියෙමට තියෙන්න ඇති. දැන් ඔය වල්පොලමුල්ල ගම නැහැ එහෙ මිනිස්සු ඔක්කොම ගම අතහැරල ඇවිල්ල ඉන්නේ. ගමේ නටබුන් විතරයි ඉතුරු. උඹේ ගමනෙ විස්තරෙත් දාලද තියෙන්නේ?

      Delete
    2. මම පෝස්ට් එක හොයාගෙන ගිහින් බැලුවා. දූවිලි ඇල්ලට යන්න බැරිවුණ එක තමයි හිතට අමාරු.

      Delete
  12. ඉරිසියාවෙ බෑ අප්පා. :((((
    බලමු ඉදිරි කාලෙදිවත් ඔය වගේ ගමන් යන්න.

    ReplyDelete
    Replies
    1. ඉරිසියා වෙන්න එපා දරුවා!

      Delete
  13. කාලෙකට පස්සේ බ්ලොග් එක පැත්තේ එන්න හිතුණේ//
    ane uba naawilla hitiyanam kochcharahondada

    ReplyDelete
  14. හරිම ලස්සනයි පින්තූර ටික. කලින් ගිහින් තියෙන ඉසව්වක් උනත්...දකිද්දී හිත පිරෙන තරම කියන්න බෑ

    ReplyDelete
  15. පින්තූර ටිකයි විස්තරෙයි නියමයි..

    ReplyDelete
  16. නියම චරිකාවක්නේ! ජය!

    ReplyDelete
  17. කියවන් යද්දී මටත් සීතල දැනුනා වගේ
    එක පින්තුරයක් ඇරෙන්න අනිත් සේරම හරිම ලස්සනයි :P

    ReplyDelete
    Replies
    1. හිහී.. පිස්සුද ඒක තමයි හොඳම එක.

      Delete
  18. නැවතුනු තැන විස්තර ටිකකුත් දැම්මනම් මතු ප්‍රයෝජනය සදහා...

    ReplyDelete
    Replies
    1. ඔන්න විස්තර ටික සුමුදුට දුන්නා. :)

      Delete
  19. අදමයි ආවෙ....ආසාහිතෙන විස්තර ටිකක්..
    ගිහින් නැති නිසා යන්න පට්ට ආසාවක් ඇතිඋනා...
    තව විස්තර තිබුනානම් හොඳා..!

    ReplyDelete
  20. හොඳට නාලා කරලා එන්න ඇති..මේ පැති වලට කොච්චර ගියත් ඇති වෙන්නෙ නම් නෑ.. ගිහින් ආවහම හිතෙන්නෙ ආයි යන්නම තමයි..

    ReplyDelete

කමෙන්ට් එකකුත් දාලම යන්න.