Monday, August 15, 2011

ඉස්කෝලෙ කාලේ.



මගේ නම් ජීවිතේ හොඳම කාලෙ තමයි ඉස්කෝලෙ ගිය දවස්.... ඒ වගේම මෙතන ඉන්න 99% කටමත් එහෙමයි කියල මම දන්නවා. ඒ කාලෙනුත් ඒ ලෙවල් පන්තියට එන්න කලින් කාලේ තමයි උපරිමයෙන් පිස්සු කෙළපු කාලේ. මොනාව කළත් හැම අවුරුද්දෙම ඉස්කෝලෙ රිසල්ට්ස් බැලුවම ඒ ලෙවල් කරන්නෙ බැරිවෙන්නෙ එකෙකුට නැත්නම් දෙන්නෙකුට විතරයි. ඒ අතින් ගත්තම බය වෙන්න කිසිම හේතුවක් තිබුණෙත් නැහැ. අනික ඕ ලෙවල් වෙනකන් තියෙන විෂය නිර්දේශය මොනවගේද කියල හැමෝම දන්නවනෙ.

ඔය කාලේ අපේ පාසල් පැමිණීමත් උපරිමයි.  ඉස්කෝලෙ ඇරෙන්න විනාඩියක් තියා හරි අනිවා යනවමයි. 
ඒ දවස්වල අපිට ප්‍රයිවට් බස් පෙන්නන්න බැහැ. 
පැය ගාණක් ගියත් සීටීබී එකක් එනකන් හෙල්ලෙන්නෙ නැහැ. 
උදේ පාන්දර ගෙදරින් එළියට බැස්සට සමහර දවස්වල පැය ගණන් බස් හෝල්ට් එකේ. උදේට ඩිපෝවෙන් ස්කූල් බස් එකක් දාලා තිබුණට එකදිගට දවස් 3ක් බස් එක තිබුණොත්  හතරවෙනි දවස වෙනකොට අපේ හෝල්ට් එකෙන් නඟින්න බැරි තරමට කට්ටිය බස් එකට පුරුදු වෙනවා. 
අයියල මල්ලිල ඔක්කොම සෙට්වෙලා බොරුකියාගෙන ඉන්නකොට වෙලාව යනව තේරෙන්නෙත් නැහැ.
හවසට එනකොටත් එසේමැයි. 
බස් ස්ටෑන්ඩ් එකේ වරු ගණන් ඉඳල ටයිම් කීපර් අංකල්ලට මළ ඇණයක් වෙලා බස් එකක් දාගෙන එනව මිසක් කොච්චර ප්‍රයිවට් බස් තිබ්බත් ඇහැක් ඇරල බලන්නෙ නැහැ.

පරක්කුවෙලා ඉස්කෝලෙට ගියත් එච්චරම ප්‍රශ්ණයක් වුණේ නැහැ. මොකද බස්එක පුරෝලම කට්ටිය ඉන්නවානේ. විස්සක් තිහක් විතර 9 ට විතර ගියාම ඉතින් නිදහසට කරුණු ඕනෙතරම්. ඔය මම කියන්නෙ 10 වසරට කලින් කාලෙ වගේ. 
ඒ දවස්වල ලැජ්ජාව කියන වචනේ තිබුණෙත් නැහැ. ගුටිකන එක දණගහගෙන ඉන්න එක නිකන් බත් කනවා වගේ වැඩක්.

ගුටි කිව්වම මතක් වුණේ මොකක්හරි මගුලක් කරල සතියකට  තුන් හතර වතාවක් කන එක ෂෙඩියුල් කරලමයි තිබ්බේ. ඒ පන්තිවලදි පන්තිභාර ටීටර්ලට අංශ භාර මැඩම්ට වෙනම ව්‍යායාම එහෙම ඕනිකරල තියෙන්න නැතුවඇති.

ඔය දවස්වල සෞන්දර්ය විෂය විදියට අපි හැමෝම කළේ චිත්‍ර. පන්තියෙ 45 ක් ඉන්නවනම් සංගීත නැටුම් කළේ 10 ක් 15ක් විතර. 
ඒ කාලෙ සෞන්දර්ය වෙලාවට තවත් පංතියක් එක්ක තමයි ටයිම් ටේබල් එක හදල තිබුණෙ. එහෙම බැලුවාම චිත්‍ර කරන්න ඉන්නව හැටක් විතර. ඉන්නෙත් ඔක්කොම නොම්මර එකේ පොරවල්. 
ඉතින් මේ ඔක්කොම එක පන්ති කාමරේකට ගාල් කරන්න බෑනෙ. 30 ක් විතර එකක ඉතුරු සෙට්එක අනිත් පන්තියෙ. (පන්ති කාමර බිත්තියෙන් වෙන් කරලනෙ තිබ්බෙ) හැබැයි එක සර් කෙනෙක් තමා උගන්නන්නෙ. දැන් කට්ටියට සීන් එක මැවිල පේන්න ඕනෙ.

සමහරුන්ට  මතක ඇති ඔය කාලෙ තිබුණ අමුතු සෙල්ලමක්. 
මෙහෙමයි.... කාබන් පෑනෙ ඇතුළෙ බටේ ගලෝල අරන් රවුමක් වගේ ජොයින්ට් කරල ගන්නවා. ඊට පස්සෙ 6-7 ක් සෙට්වෙනවා. 
ගේම් එක මෙහෙමයි..... ඔය අවුම අල්ලෙ තියල උඩ දාල පිටි අල්ල උඩට දාගන්න ඕනෙ. 
ඊට පස්සෙ වට්ටන්නෙ නැතුව ඇඟිල්ලක් ඇතුළට දාගෙන ටක් ගාල ඩෙස් එක උඩට දානවා. මාපටැඟිල්ලට ඉස්සෙල්ලම දාගත්ත එකා රජ. මැදඟිල්ල ඇමති.. තව එකක් වධකයා...අන්තිමට දාගන්න බැරුව ඉතුරුවෙන එකා තමා වැරදිකාරයා... ඒවගේ.

රජ තමයි දඬුවම් නියම කරන්නෙ.
ඒ වගේම පස්සෙ පස්සෙ සෑහෙන දරුණු දඬුවමුත් ඕකෙ තිබ්බ ඕං. 
රජ හරි වදකය හරි විදියට පොඩි හරි තරහකාරයෙක් සෙට්වුනොත් ඉතින් බඩුම තමා.

දැන් අර චිත්‍ර පංතියෙ අපි සෙ‍ට්එක තමා සර් නැතුව දෙවෙනි පන්තිකාමරේ හිටියෙ. ආයෙ ඉතින් මොනවද චිත්‍රනම් ඕනෙවෙලාවක ඇඳගන්න බැරුවයැ කියල අපි සෙට්වෙලා මහ හයියෙන් අර සෙල්ලම. 
ඔන්න දැන් ඉතින් එක වටයක් එහෙම ඉවරවෙලා දඬුවම් දෙන වෙලාව. 
ටිකක් දරුණු දඬුවමක් තමයි නියමවෙලා තිබුණෙත්. වදකය නැඟිටල ඇවිල්ල වැඩේ පටන්ගන්න හැදුවා විතරමයි......... (වටේ එවුන්ගෙ චියර් එක ඇහෙනවනෙ)

පන්තිකාමරේ දොර ගාව මාර දිව්‍යපුත්‍රයා වගේ සර්ර්....

කොහොමහරි සර්ට කේන්තිය වැඩිකමට කතා කරගන්නත් බැහැ. වචන පිටවෙන්නෙත් නැහැ. මොනා කරන්නද අපිත් ඉතින් මොන දේ වෙන්නෙත් මිනිස්සුන්ටනේ කියල ලෑස්තිවෙලයි හිටියේ.

ඒ දවස්වල අළුතෙන් හදන බිල්ඩින් එකක තමා පන්ති තිබ්බේ. ඕකෙ ජනෙල්වල වීදුරු දාන වගේ වැඩ තමා ඉතුරුවෙලා තිබුණෙ. වීදුරුව ජනේලෙට තියල ඇණ ගහන්න පාවිච්චි කරනවනෙ හරි හතරැස් දිග පටි. ඔන්න ඔය පටි වගයක් අපේ වාසනාවට සර්ගෙ අත ළඟම...

ආයෙ මොනාද මේ ටික ලියනකොටත් මට දැනෙනවා දැනෙනවා වගේ කාපු පාරවල් වල සැර. කොහොමහරි පටි කැඩිල යනකම්ම සර්ගෙ හිතේ කේන්තිය නිවෙනකම්ම ගැහුවා. අපිත් ඉතින් පුරුෂ ධෛර්යය හිතට අරන් දත්මිටි කාගෙන හිටියා.

ඔය කිව්වෙ ඉතින් දහසකුත් එකක් ගුටිකෑම් වලින් මගේ ප්‍රියතම කෑම තමයි.

හැබැයි ඉතින් අසාමාන්‍ය ළමයෙක් නෙමේ නම් ඉස්කෝලෙ කාලෙ ඔයවගේ වැඩ නොකරපු එකෙක් හොයාගන්න අමාරුයි. හිටියොත් එක්කො ඒ ලෙඩෙක් නැත්නම් මෙලෝ රහකට නැති එකෙක්. ඒ කාලෙ කළේ නැත්නම් නෑ... ම තමා. මොකෝ දැන් කරන්නයැ. 

පින්තූරෙ හොරකම් කළේ මෙතනින්. http://www.clipartof.com/portfolio/toonaday/trouble

Tuesday, August 9, 2011

බේබදු අත්පොත.

මේ ඉතා වටිනා උපදෙස් මාලාව නිතර නිතර සිහි කිරීමෙන් හා මතක තබා ගැනීමෙන් මහඟු ප්‍රතිඵල අත්වේ.




රෝග ලක්ෂණය

දෝෂය

ගත යුතු ක්‍රියා මාර්ගය

බීමෙන් කිසිදු රසයක් හෝ තෘප්තියක් නොලැබීම. කමිසයේ ඉදිරිපස තෙත්වීම.

බොන වේලාවේදී කට නිසි පරිදි විවෘත නොවීම හෝ මුහුණේ වැරදි තැන වීදුරුව තබාගෙන සිටීම
තවත් ෂොට් එකක් මිලදී ගන්න. කණ්නාඩියක් ඉදිරිපසට ගොස් තාක්ෂණය නිවැරදි වන තුරු සෑහෙන වාර (ෂොට්) ගණනත් පුරුදු වෙන්න.
බීමෙන් කිසිදු රසයක් හෝ තෘප්තියක් නොලැබීම හා බියර් අසාමාන්‍ය ලෙස පැහැදිලි හා සුදුමැලි පාටකින් යුක්ත වීම.


වීදුරුව හිස්.

ඔබ සඳහා තවත් ෂොට් එකක් මිලදී ගන්න හැකි අයෙක් සොයා ගන්න.

පාදවලට සිසිලසක් හා තෙත් ගතියක් දැනීම

ඔබ වීදුරුව වැරදි අතට අල්ලාගෙන සිටී
විදුරුවේ විවෘත කෙළවර සීලිම දෙසට වන සේ අල්ලා ගන්න.

බා(ර්) එක බොඳවී පෙනීම
ඔබ බලා සිටින්නේ හිස් වීදුරුවේ පතුළ තුළිනි.
ඔබ සඳහා තවත් ෂොට් එකක් මිලදී ගන්න හැකි අයෙක් සොයා ගන්න.


පාදවලට උණුසුමක් හා තෙත් ගතියක් දැනීම


ඔබගේ ස්වයං පාලනය ගිලිහී යාම.
ලඟම සිටින බල්ලා අසලට යන්න. ටික වෙලාවකින් බල්ලාගේ නොහැදියාව ගැන හිමිකරුට පැමිණිලි කරන්න. අලාභය ලෙස තව ෂොට් එකක් ඉල්ලා සිටින්න.



බා(ර්) එක ගමන් කරයි.


ඔබව කිසිවකු ඔසවාගෙන යනු ලබයි.
ඔබව ඔසවාගෙන යනු ලබන්නේ තවත් බා(ර්) එකකට දැයි බලන්න. එසේ නොමැති බව හැඟී ගියහොත් පැහැරගෙන යන බවට හයියෙන් කෑ ගසන්න.
ඔබ ඉදිරිපස බිත්තියේ සිවිලින් ෂීට් සවිකර ඇති බව හා ටියුබ් ලයිට් සවිකර ඇති බව පෙනෙයි.


ඔබ උඩුබැලි අතට බිම වැටී සිටී.
කාගේ හෝ උදව්වෙන් කෙලින් වෙන්න. වීදුරුවේ ඉතිරි තිබේ නම් වහා එය පානය කරන්න. නැතහොත් තව එකක් ගන්න.
හැම දෙයක්ම බාගෙට අඳුරුවී ඇති බවක් පෙනේ. කටේ දත් අතර සිගරට් කොට පිරී ඇති බවක් හැඟේ.

ඔබ මුනින් අතට බිම වැටී සිටී.
උඩුබැලි අතට බිම වැටී සිටින ආකාරයටම අනුගමනය කරන්න.
ඔබේ ඇඳ මෙතරම් තද සීතල හා තෙත ගතියෙන් යුක්ත ඇයි දැයි බැලීමට ඔබ නින්දෙන් ඇහැරෙයි. ඔබට නිදන කාමරයේ බිත්ති හෝ සීලිම නොපෙනෙයි.


ඔබ කාණුවේ රාත්‍රිය ගතකර ඇත.
වහා ඔරලෝසුව ගෙන කාණුව විවෘත කරන වේලාව දැයි බලන්න. එසේ නොමැති නම් සිටින ආකාරයෙන්ම වැතිරී සිටින්න.
හැම දෙයක්ම එකවර අඳුරු වෙයි.

බා(ර්) එක වසනු ලබයි.
ඔබ සන්ත්‍රාසයට හා හදිසි තැති ගැනීමක් බලාපොරොත්තු වන්න.


ප.ලි. දැන් කට්ටිය මේකට මාව එහෙම අල්ලන්නෙ නෑ. මේක මාර ලොජිකල් එකක් හින්දයි දාන්නෙ.




Monday, August 8, 2011

අමතක වෙන්නෙ නැති දවස් - තවත්


හේරගෙ මල්ලිගෙ කැම්පස් එකේ බෝඩිමේ හොරෙන් නතරවෙලා අනුරාධපුරේ ඇවිදින්න පටන් ගත්ත හැටි මතක නැත්තම් ඔයාලට මෙතනින් ගිහින් ඒක බලාගෙන එන්න පුළුවන්.

මතකනෙ අපි එදා  රෑ මිහින්තලේ ගිය හැටි. 
ආරාධනා ගලට යන්න කලින් නැවැත්තුවනෙ.. මෙන්න ඒ විස්තරේ. 
(මේ වෙලාවෙ මට මැවිල පේනව මේක කියවන ජානකයගෙ මූණ නිකන් කජු ලෙල්ලක් වගෙ ලස්සන වෙනව). 

ජානකය මේ ආත්මෙදි මස් මාළු(කෑලි) නොකෑවට ගිය ආත්මෙ හෙනට පව් කරපු පොරක්. 
අපේ කට්ටිය කියන විදියට මේකා කරපු පව් වලට දඬුවමක් වශයෙක් පහුගිය ආත්මෙක මූව උස තැනකින් පහළට දාල මරල තියෙනවා. 

ඉතින් ඒ ආත්මෙ එහෙම වුණ හින්ද මේ ආත්මෙදි පොළවෙන් අඩි 2ක් උස තැනකට නැග්ගොත් මුගෙ කකුල් 4 ම පණ නැතිවෙලා කටේ කෙළ හිඳිල තව තව ඒවත් වෙන තත්වෙට පත් වෙනව. මේ වෙලාවට පහළ බලනව තියා ඒ ගැන හිතන්නවත් බැහැ.
ඉතින් මේ වගේ එකෙක්ව මිහින්තලේ ආරාධනා ගල මුදුනට නැග්ගෙව්වොත් කොහොමට හිටීද.

මේ පහළ තියෙන ෆොටෝ එක ගැහුවෙ ගල මුදුනෙදි. ජානකය බය නෑ වගේ පෙන්නන්න උපරිම උත්සාහයක් අරන් තියෙන වෙලාවක. ඕක මොකද්ද මන්දා ෆෝබියා එකක්ලු ඒගැන හෙන විස්තරයක් මෑන් ලඟ තියෙනව ඒත් ඒක කියන්න එන හැමවෙලාවකම වෙන එකෙක් මොකක් හරි ඇදල අරන් ඒක කඩාකප්පල් කරල දාන හින්ද තාම අපි දන්නෙ නෑ ඒ ගැන හරි විස්තරේ.



කොහොමහරි ජානකයවත් අරන් බහිනකොටත් සෑහෙන්න රෑවෙලා තිබුණෙ. ඊට පස්සෙ මිහින්තලේ හන්දියෙ තිබ්බ රෑ කඩේකින් හොඳට කාලා බෝඩිමට ඇවිල්ලා පිස්සු කියෝ කියෝ ඉඳලා නිදාගන්නකොට පහුවදා එළි වෙන්නත් කිට්ටුද මන්දා...

පහුවදා ප්ලෑන් එක තිබ්බෙ බයිසිකල් වලින් මුළු අනුරාධපුරේම කවර් කරන එක. මිහින්තලේ ඉඳන් අනුරාධපුරේට කිලෝ මීටර් 12 ක් විතර ඇතිනේ. 
අපි උදෙන්ම පාරට බැස්සා... කෙලින්ම නැවැත්තුවෙ නුවර වැවේ. 
නුවර වැවේ වපසරිය අක්කර 2956 ක් ඒ වගේම අක්කර අඩි 36050 ක ජල ධාරිතාවයක් තියෙනවා. අනුරාධපුරේ ප්‍රධාන නුවරට කිට්ටු නිසාලු නුවර වැවට ඒ නම ලැබිල තියෙන්නෙ.

නුවර වැවේ අසිරිය මෙන්න...









නුවර වැවේ බන්ට් එක දිගේ ගිහිල්ලා අපි පූජා නගරයට ඇතුළු වුණා. මේ තියෙන්නෙ ඒ හරියෙ පින්තූර.
ඔය ඉන්නෙ අපි බයිසිකලුත් එක්කම....





මේ පහළ තියෙන පින්තූරෙ තියෙන්නෙ ඇත් පොකුණ. 
මේක තමයි ලංකාවේ විශාලත්වයෙන් දෙවැනි ගලින් කරවන ලද පොකුණ. 
ඔන්න දැනගන්න විශාලම පොකුණ තියෙන්නෙ රිටිගල.



මේ පින්තූරෙ තියෙන්නෙ අභයගිරි දාන ශාලාවෙ බත් ඔරුව. කොහොමද සයිස් එක. මේකෙන් අනුමාන වශයෙන් 5000 කට වැඩි ප්‍රමාණයක් දෙනෙකුට බත් බෙදන්න පුළුවන්ලු.. ඒ කියන්න අභයගිරියෙ විතරක් ඒ දවස්වල ස්වාමීන් වහන්සේලා 5000 කට වැඩිය වැඩ ඉඳල තියෙනවා.



මේ තියෙන්නෙ ලංකාරාම වෙහෙර.



ඔන්න ඔතනදි තමයි තව රසවත් සිද්ධියක් වුණේ. 
කොහෙන්ද මන්ද අමුතු කික් එකක් ආපු ඉසුරුව යි තව එකෙකුයි හෙන කටුගාලක බයිසිකල් පැදලා. 
බයිසිකල් දෙකේ රෝද 4 ම පැච්....
හයියෝ මුන් කරන වැඩ.. 
දැන් ඉතින් හොයහල්ලකො මේ පූජා නගරෙ පැච් දාන්න තැනක්. 
එහෙන් අපිට නාන්න වැව්ගත වෙන්නත් හොඳටම ප්‍රමාදයි.
කොහොම  කොහොම හරි අපේ හොඳවෙලාවට පැච් දාන සීය කෙනෙක් හම්බවුණා වැඩි දුරක් නොගිහින්ම.

ඔන්න දැන් සීය පැච් දානවා... 
එකක් දානවා වතුරෙ ඔබනවා .... තව එකක් හොයාගන්නවා..
එකක් දානවා වතුරෙ ඔබනවා .... තව එකක් හොයාගන්නවා..
දැන් මේ සීන් එක ඉවර වෙන පාටක් නැහැ.. ඒත් මොනව කරන්නද ඔක්කොම නොදා හුළං ගහන්නයැ..

අන්තිමට බලනකොට ඉසුරුවගෙ බයිසිකලේ පැච් 11ක්.

මෙන්න පැච් දාන සීයා සහ සීයට හෙල්ප් එක දෙන ඉසුරුවා...





ඒ වෙලාවෙ මූ එක්ක ආපු කේන්තිය නම් කියල වැඩක් නෑ.. 
ඇයි යකෝ නාන්න තියෙන වෙලාව නේද මේ නිකන් නාස්ති වෙන්නෙ..

කොහොමහරි පැචුත් දාගෙන කට්ටිය කෙලින්ම තිසා වැවේ.

මේ ඉන්නෙ තිසා වැවේ දිය කෙලින අපි..



මේ තියෙන්නෙ ඉර බැහැගෙන යන වෙලාවෙ තිසා වැවේ දිය තලය. කොච්චර සුන්දර දර්ශණයක්ද...


ඉසුරුමුණිය..


අපි ඉසුරුමුණියට එනකොට කළුවරත් වැටිලා.. කැමරාවෙ බැටරිත් ඉවරයි... බඩත් ගිනී..
දැන් ආපහු මිහින්තලේට පදින්න එපයි..

මෙන්න බොලේ ඒ අස්සෙ හේරා බෙරිහන් දෙනවා.. 
මාමලගෙ ගෙදර යන්... මාමලගෙ ගෙදර යන්... එහෙන් කාලම යන්න පුළුවන් කියල.. 
මෙන්න යකෝ මුගෙ මාමෙක් අනුරාධපුරේ. 
අනේ මන්ද මූ කොළඹ.. ගෙවල් දියතලාවෙ.. මල්ලි මිහින්තලේ... මාමෙක් නුවර වැව ඉස්සරහින් යන පාරක..

අපිත් ඉතින් මාම පව් නේද කියල හිතල කෑම ලෑස්ති කරන්න කියල කෝල් එකක් දුන්නා. ගිහින් බඩ පැලෙන්න කාලා එහෙම ආපහු පිටත් වුණා.

මේ දවස්වල උතුරෙ යුද්ධෙ සැරටම ගිය කාලෙ. රෑ 10 ට විතර ඇති. පාරෙ මොකෙක්වත් නැහැ...
ඒ අස්සෙ කරන්ට් එකත් ගියා.. ගියාද නැත්නම් යැව්වද දන්නෙ නැහැ.. 
අර කුරුම්බැට්ටි මැෂින් යන එන කාලෙනෙ..

අපිත් ඉතින් වීරයො වගේ කාපුව බහින්නත් එක්ක පදිනවා..

හෆොයි එකපාරටම බල්ලෙල් ෆෝම් වෙලා අපි පස්සෙන් එළවන්න පටන් ගත්තේ නැතැයි.. 
ඊට පස්සෙ උගෙ පස්සෙන් උගෙ මුළු බලු සෙට් එකම....

මම නම් ජිවිතේට දැකල නැහැ ඒවගේ ගටක් තියෙන බල්ලෝ සෙට් එකක්. 
මුන් කිලෝමීටරේකට පොඩ්ඩක් අඩු දුරක් වගේ අපිව එළෙව්වා. 
එව්වා කොහෙද අපිත් එක්ක. අපේ සෙට් එකේ හිටියෙ උන්ට වඩා සෑහෙන්න අණ්ඩපාලයෝ.

අන්තිමට බල්ලො එකා දෙන්න ගේම අතෑරියා.. ලයිටුත් ආවා.. අපි මිහින්තලේටත් කිට්ටුකරලා... 

ඒ දවසත් ඉවරෝ................

අන්තිම දවසෙ නම් වැඩිය කියන්න දෙයක් නැහැ. අපි කළුදිය පොකුණ පැත්තෙ පොඩි වටයක් ගැහුවා.



එන්න මොහොතකට පෙර...


ට්‍රේන් එක තිබ්බෙත් 2 පහුවෙලා. අපි ස්ටේෂන් එකට ඇවිත් කාලා එහෙම එන්න සෙට් වුණා.
ඔන්න ඔහොම තමයි අපේ ජීවිත වලට තවත් අමතක නොවන අත්දැකීමක් එකතු වුණේ.

ජානකය මාව මැරුවෙ නැත්නම් තව ට්‍රිපක් ගැන පෝස්ට් එකක් දාන්න පුළුවන්වෙයි කියල හිතෙනවා.....

Wednesday, August 3, 2011

කාර් උස්සන අළුත්ම ක්‍රමයක්

මේක මට අද ඊයකින් ආපු එකක්. දැනුවත් වෙලා තමන්ගෙ වාහනේ බේරගන්න මිසක් අනුන්ගෙ වාහන උස්සන්න එහෙම නෙමේ හොඳේ.



මෙහෙම හිතන්න..
ඔයා කාර් එක පාක් එකේ නවත්තල තියල යනවා. පාර අයිනෙ කියල හිතමු.
ආපහු ඇවිල්ල කාර් එක අන්ලොක් කරල ස්ටාර්ට් කරනවා. 

රිවර්ස් කරන්න හදනකොට හරි, පසුපස බලන් කන්නාඩියෙන් හරි, ඔයා දකිනවා මොකද්ද මන්දා කොල කෑල්ලක් පිටිපස්සෙ වීදුරුවෙ ඇලිල තියෙනවා. ඒක හින්ද හරියට පැහැදිලිව පිටිපස්ස පේන්නෙ නැහැ.
ඊට පස්සෙ මොකද කරන්නෙ?

ඔයා බැහැල ගිහිල්ල රැඳිල තියෙන කොළ කෑල්ල හරි මොකක් හරි අයින් කරන්න හදනවා.
එතකොටම කොහෙන්හරි මතුවෙච්ච මිනිහෙක්(හෝ කීපදෙනෙක්) ඔයාගෙ කාර් එකට පැනල වේගයෙන් නොපෙනී යනවා..........

විශේෂයෙන් ඔයා කාන්තාවක් නම් ඔයාගෙ පර්ස් එක, අත් බෑගය, සල්ලි, යතුරු, ගෙදර ඇඩ්‍රස්, ක්‍රෙඩිට් කාඩ්, වාහනේ ලිපි ලේඛන සියල්ලම හොරු අතේ......

මේක මේ දවස්වල වාහන හොරකම් සඳහා යොදාගන්න අළුත්ම උපක්‍රමය ලු.

ඉතින් මේකට අහුනොවී ඉන්න නම් මේ ගැන දැනුවත් වීම ඉතා වැදගත්.
අනෙක් අයටත් කියන්න.

බැරි වෙලාවත් මේවගේ දෙයක් පිටිපස්සෙ ඇලවිලා තියෙනව දැක්කොත් වහාම දොරවල් ලොක් කරන්න. හැකි ඉක්මණින්ම එතනින් පිටවෙලා යන්න. මොකද වාහන සොරු ඔබ අසලම වෙන්න පුළුවන්. ගෙදර ගිහින් කොළ කෑල්ල අරන් දාගන්න.

Tuesday, August 2, 2011

අමතක වෙන්නෙ නැති දවස්.

ඒ 2008 අවුරුද්ද.... කැම්පස් එකේ 3 වෙනි වසර, අන්තිම මාස හය. හැමෝම ඉන්ඩස්ට්‍රියල් ට්‍රේනිං.

ට්‍රේනිං එකත් සෙට් වුණ තැන අනුව තමා, සමහර එවුන්ට රෑ එළි වෙනකන් වැඩ. සමහර එවුන්ට එච්චරම කට්ටක් නැහැ. කොහොමහරි මාස 6 වේගෙන් ඉවර වේගන යනවා. 

කලින් අපිට හිතුණ වෙලාවට ලෙක්චර්ස් ගිහින් හිතුණ දේ කරපු අපේ එවුන්ට මේක නිකන් හිරේ දැම්ම වගේ වැඩක්. ඒක හින්ද අපිට ඕනෙ වුණා කොහේ හරි ඇවිදලා කාලා බීලා එන්න. අන්තිමට අයිඩියා එක කියල කට්ටියටම දැම්ම මේල් එකක්. 
කට්ටිය කිව්වට හැමදාම සෙට්වෙන 10 -12 ක් විතර. 
ඔන්න තැන තීරණය කරන්නම රිප්ලයි 50 ක් විතර. නුවර එළිය, බදුල්ල, බණ්ඩාරවෙල, ගාල්ල, අනුරාධපුරේ, පොළොන්නරුව. හැබැයි කෝච්චි යන තැන් විතරයි.

ඇත්තටම ඔය කියපු හැම තැනක්ම අපි සෑහෙන්න වාර ගණනක් කවර් කරලයි තිබුණෙ. 
මේ අස්සෙ අපේ හේරා දැම්මා නියම අදහසක්... හේරගේ මල්ලි ඒ වෙනකොට හිටියෙ රජරට කැම්පස් එකේ. එහෙ ගිහින් උන්ගෙම හොස්ටල් එකේ නැවතිලා එහෙ කැන්ටින් එකෙන් කාලා වැවෙන් නාලා එහෙන්ම බයිසිකල් හොයාගෙන මුළු අනුරාධපුරෙයි මිහින්තලෙයි කවර් කරන එක තමයි ප්ලෑන. 
ආයිත් කියන්න දෙයක් නෑ වැඩේ තීන්දුයි. ඔන්න දවස තීරණය කරන්න තවත් රිප්ලයි 60ක් විතර ගියා... ඒකත් හරි.  දැන් ට්‍රිප් එක දවස් 3යි.

අනුරාධපුරේට කෝච්චිය තිබුණෙ උදේ 7යි ගාණකට. ගානට වෙලාවට කට්ටියක් කොටුවෙ ස්ටේෂන් එකේ. තව කට්ටියක් ගම්පහ පැත්තෙන් නගින්නෙ.

පැය 4 යි. 11.30 වෙනකොට අපි අනුරාධපුර ස්ටේෂන් එකේ. මේ පහල තියෙන්න ස්ටේෂන් එක ඉස්සරහ ඉඳන් ගත්ත ‍ෆොටෝ එකක්.



දැන් ඉතින් මිහින්තලේට යන්න ඕනෙ. 
ඊට කලින් මොනවහරි කාලා ඉන්න ඕනෙනේ කියල කඩේකට රිංගුවා. 
මෙතනදි තමා අපේ ජානා ව මතක් වෙන්නෙ. ජානකය මස් මාළු කන්නෙ නෑ. හෙන සිල්වත්. හැබැයි බිත්තර කොත්තුවෙ බිත්තර කෑලි අයින් කරල කොත්තුව විතරක් කනවා. මුගෙ තව කොන්දේසියක් තමයි අපි මස් මාළු කනවනම් මූට ඒ වෙනුවට වෙන මොනා හරි අරන් දෙන්නම වෙනවා. එහෙම නැත්නම් දවසම මුගෙ කන්දොස්කිරියාව අහන් ඉන්න වෙනවා.

කොහොමහරි ජානාටත් කවා පොවාගෙන පැය 3-4 කින් අපි මිහින්තලේ කැම්පස් එකේ. අපේ කැම්පස් එක වගේ ඉන්න ඕනෙ. ඒ අස්සෙ අපේ සමහර එවුන් කලම්බු කැම්පස් ටී ෂර්ට් ඇඳගෙන. 
මේ තියෙන්නෙ  රජරට හොස්ටල් වලට යන පාරෙදි ගත්ත ෆොටෝ එකක්.



ඔය කියන දවස්වල රජරට මොකද්ද ස්ට්‍රයික් එකක් හින්ද ලෙක්චර්ස් එහෙම නවත්තලා තිබුණෙ. කිසි ප්‍රශ්ණයක් නෑ අපිත් මෙහෙ එවුන් වගේම ගිහින් හොස්ටල් එකට රිංග ගත්තා. 
හේරගේ මල්ලිගෙ රූම් එකේ එවුන් ඒක අපිට දීල වෙන වෙන රූම් වලට රිංග ගත්තා.
හොස්ටල් එකේ බිත්තියක තිබ්බ සීගිරි බිතු සිතුවමක් තමයි මේ පින්තූරෙ තියෙන්නෙ.




ඊළඟට අපේ ඒකායන අරමුණ තමයි වැවකට බැහැල ජල ක්‍රීඩා කිරීම. 
මහකනදරාවට ටික දුරයිලු. ඔන්න දැන් යන්න ලෑස්තිය. 
විනාඩි 10 න් බයිසිකල් 10 ක් විතර රෙඩි වුණා. ආ අමතක වුණා නෙ කියන්න. මෙහෙ 100% ක්ම ළමයි හොස්ටල් ඉඳන් කැම්පස් යන්නත් එහෙ මෙහෙ ඇවිදින්නත් පාවිච්චි කරන්නෙ පාපැදි තමයි. බැලු බැලු අත බයිසිකල් වලින් යන කොල්ලො කෙල්ලො.

ඉතින් ඔන්න පාර හොයාගෙන ගිහින් මහකනදරාව වැවට  බැස්ස. ඇත්තටම ඒ වැව බොහොම ගැඹුරු වැවක්ලු. මේ ළඟදි නාන්න ආපු දෙන්නෙක්ද කොහෙද ගිලුණ කියන ආරංචියකුත් යන්තම් වගේ මතකයි. අපිට නම් කිසි අවුලක් වුනේ නැහැ. මෙන්න බලනවනම් පින්තූර.





ඇති වෙනකම්ම නාපු අපි කළුවර වැටීගෙන එනකොට ආපහු හොස්ටල් එකට ආවෙ රෑට මිහින්තලේ නඟින බලාපොරොත්තුවෙනුයි. ඇත්තටම රෑවෙනකොට රජරට කැම්පස් එකට මිහින්තලේ දිව්‍ය විමානයක් වගෙයි පේන්නෙ. පහල තියෙන්නෙ අපි එදා ගත්ත පින්තූර.




මම නම් කියන්නෙ මිහින්තලේ යනවනම් දවල්ට යන්න එපා.





මේ පින්තූරෙ ඉන්නෙ මිහින්තලේ අසිරිය විඳින අපි කට්ටිය.... 


දැන්නම් ඉතුරු ටික ලියන්න බෑ වගේ හිතෙනව. පෝස්ට් එකත් දිග වැඩි වෙන හින්ද ඒ ටික හෙට අනිද්ද වගේ දාන්නම්........