Thursday, September 22, 2011

ඔන්න මාත් ගියා...


වෙන කොහේවත් නෙමේ ඕං..  මේ දවස්වල කවුරුත් යන.... ගිහින් ඇවිත් ෆොටෝ එකක් එක්ක විස්තරේ දාන... පොත් ප්‍රදර්ශණේ බලන්නම තමා.

දවල් දවසෙ ඉතින් කෝඩ් ලියන්න බග් හදන්න තියෙන හන්දා හවස් වෙලා තමයි යන්න හම්බවුණේ. 
ඊයෙ.. ඒ කියන්නෙ 20 වෙනිදා තමයි ගියෙ. ටක් ගාලා හතර දෙනෙක් සෙට් කරගත්තා.. ගියා.. 
ඇතුළට යන්න කලිනුත් හොඳ රසවත් සීන් එකක් වුණා. ඒකත් කියලම ඉමු.

ඔන්න අපේ තියෙන වාසනා බල මහිමය හින්දා බී එම් අයි සී එච් ගේට්ටුව ළඟට එනකොටම පොලිස් මාමෙක් ගැහුවෙ නැතෑ බෝඩ් එකක් පාක් එක ෆුල් කියල. 
ඉතින් මොකෑ කරන්නේ... රිංග ගන්න තැනක් හොය හොයා අපි වටේ යන්න පටන් ගත්තා. 
ඔන්න තියෙනවා වී අයි පී පාක්එක. ඉඩත් තිබේ. ඒත් මොනා කරන්නද අපි වැදගත් නෑලු නේ. 
තව ටිකක් යනකොට තියෙනවා සිරිමාවෝ එක පිටිපස්සෙම ගේට්ටුව. 
එතනත් ඉන්නවා පොලිස් මාමෙක්. 
එතකොටම අපිට ඉස්සරහින් ගිය කාර් එකත් ඒකෙන් දැම්මා. පොලිස් මාමත් මොකද්ද අහල ඇතුළට යන්න කිව්වා. 
මාත් එක්ක හිටිය අනික් එකා තමයි අසිතයා. මෑන් ටක් ගාල කිව්ව දාපන් දාපන් අවුලක් නෑ කියල. 
ඕං මං හිමීන් සැරේ රිංගෙව්වා. පොලිස් මාමත් අත දාල නතර කළා.

එයා කතා කරන්න කට අරිනකොටම අසිතයා කිව්වෙ නැතෑ මෙහෙම.

"ආ... අපි... තමයි දැන් අර කියල ගියෙ බඩුටිකක් ගේන්න...."..... "ටක් ගාල එනව කියල ගියෙ....."...... "දැන් චුට්ටකට ඉස්සෙල්ල......".... කියල සට සට ගාල දෙ තුන් පාරක් කිව්වා..

මාව නිකන් ෆුල් හොල්මන් වෙලා ගියා.. ඇයි යකෝ මූ අඩුගානෙ මටවත් කිව්වෙ නෑනෙ මෙහෙම කරමු කියල.
මම දත්මිටි කාගෙන හිටිය ඕනෙ මඟුලක් වෙච්චදෙන් කියල.

පොලිස් මාමටත් මුකුත් හිතාගන්න බැරිවෙන්න ඇති.. ඒ අතරෙ අපිත් ෂේප් එකේ ඇතුළෙ.

බැලින්නං ඒක තමයි ස්ටෝල් කරන කට්ටියගෙ පාර්ක් එක.
ඒ අස්සෙ අසියා උගෙ තියරි එක කියනවා.
එතන පොලිස් මාමල කීප දෙනෙක් ඉන්න හන්දා එහෙම කිව්වම එයාට හරියටම හිතාගන්න බෑලු. වෙන එක්කෙනෙකුට කියල යන්න ඇති වගේ හිතෙනවලු. අනික ඒ වගේ හෙන කන්ෆිඩන්ස් පිට කිව්වම එයාට මේ කියන එක විශ්වාස නොකර ඉන්න බෑලු... ඒ වගේ හෙන ගොඩක් දේවල්..

ඔන්න පොරවල්. මට නම් හිතාගන්න බෑ ඔය ටික ඔය විනාඩියට හිතල කියන්න. 

හැබැයි අසියා හිටියෙ නැත්නම් මම තාමත් වටේ යනවා.. හික්..

ඔන්න ඒ සීන් එක ඉවරවෙලා අපි ඇතුළට ගියා.... ටිකටුන් නැතුවම.. හික්... ස්ටෝල් කරන එවුන්ගෙන් ටිකට් ගන්නවායැ.

අපිත් එක්ක ආපු අනිත් දෙන්නා නියමිත පිළිවෙළට ඉස්සරහින් ඇවිත්. ටිකට් එහෙම අරං. අපි ගාවට ආවා. ටිකට් දෙකක් අරන් වරෙං කියනකොටත් උන් දෙන්නා ඇතුළට ඇවිල්ලා. මොනා කරන්නද රු10 නේ කියල ටිකට් වැඩෙත් අමතක කරල දැම්මා.

ඊළඟ ප්‍රධාන රාජකාරිය මොකද්ද...

පොත් ගන්න එකද??

මොන පිස්සුද ...පොත් ඉවරවෙන එකක් නෑනෙ ඔය ටිකට. ඒවගේද කෑම එහෙම ඉවර වුණොත්. හික්...
එහෙම හිතපු අපි පැයකට ආසන්න කාලයක් ඒ වැඩේටත් ගත කළා. 

දැන් වෙලාව හතට විතර ඇති. ඒත් සෙනඟ එච්චරම අඩු පාටක් පේන්න තිබුණෙත් නෑ. මුලින්ම අපි ගියෙ ලිපි ද්‍රව්‍ය තිබුණ කුටියකට. හැම තැනම වගේ අඩුතරමින් 20% ක වකත් ඩිස්කවුන්ට් තියෙනවා. 

ලොබි එකෙන් ඇතුළට යන තැනම ඔයාලට ඕනෙ නම් තමන්ගෙ රූපෙ චිත්‍රයට නංවාගන්න පුළුවන් රු 300 ක් වගේ මුදලක් දීල. 
නිකන් මිනිස්සු බය කරන්නෙ මොකටද කියල හිතල අපි එතනින් ෂේප් එකේ මාරු වුණා.

ඊට පස්සෙ ඔක්කොම වගේ කුටිවලට ගියා. ඒත් මම පොත් ගත්තෙ මාර්ටින් වික්‍රමසිංහ මහත්තයාගෙ පොත් තිබුණු සරස ප්‍රකාශකයන්ගේ කුටියෙනුත් විජේසූරිය මහත්තයගෙ පොත් තිබුණු විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රෙයනුත් විතරයි. 

මාර්ටින් වික්‍රමසිංහ මහත්තයගෙ පොත් මම ආසම කරන බසකින් ශෛලියකින් ලියලා තියෙනවා. මම ගත්තු ඔක්කෝම කෙටිකතා සංග්‍රහයන්.

විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රයේ හැම පොතකටම 30% ක අඩු කිරීමක් ලබාදෙනවා. විජේසූරිය මහත්තයත් හිටියා. ඒත් කතා කරන්න නම් යන්න වුණේ නෑ.

රෑ නවයට කිට්ටු වෙනකන් අනිත් කුටිවලත් ඇවිද්දා. බොහොමයක් දෙනා පොත් මිලදී ගන්නවා. රෑ වුණා කියල වෙනසක් නෑ.

කියන්න අමතක වුණා... ඒ අතරෙ ලොබි එකේ සංගීත සාජ්ජෙත් ජයටම යනවා.

මේ තියෙන්නෙ මං ගත්තු පොත්පත් ටික. (හැමෝම දාන එකේ මාත් ඒ විදියටම තියල ෆොටෝ එකක් ගත්තා.. හික්....)



විශේෂයෙන් පොත් සාප්පුවකට ගිහින් පොතක් පතක් ගැනෙන්නෙ නැති කාලෙක සහ කොහෙන් හරි ඩවුන්ලෝඩ් කරන ඊ බුක් වලටම යොමු වෙච්ච කාලෙක... පොතක් පතක් ගැනෙන්නේ මේ ප්‍රදර්ශණය හින්දම තමයි. 

දැන් ඉතින් ටික දවසක් යනකල් වැඩ තියෙනවා....  හැබැයි ආපහු වතාවත් සති අන්තයෙදි යන්නත් හිතේ තියෙනවා.


Monday, September 12, 2011

දිවයින තියෙනවද?

අද කියන්න යන කතාව මීට අවුරුදු කීපයකට කලින් එන්කරා පුද්ගයයෙකුට වෙච්ච දෙයක්. දානවද නැද්ද කියල හිත හිතා ඉඳල ඕනෙ ඇපල් ගෙඩියක් කියල දාන්නම හිතුවා. 

මේකට සම්බන්ධ පොර කතාකරන්නෙ බොහෝම හෙමින්. ඇහෙන නෑහෙන ගාණට.
රහසක් කියනව වගේ තමයි කතා කරන්නෙ. 

තව එකක් කියන්න ඕනෙ .. මේ සිද්ධිය වෙලා තියෙන කාලෙ ඔය නවීන තාක්ෂණය එච්චර මිනිස්සු අතරට ගිහින් තිබුණ කාලයක් නෙමේ. පත්තර තමා ජනප්‍රිය.

ඔන්න එක දවසක් මෙයාට පත්තරයක් ගන්න හිතිලා. වට පිට බලනකොට ළඟ තිබ්බ පත්තර ලෑල්ලක් දැකල තියෙනවා.

එතන ඉඳන් දෙබස මේකයි.

මුදලාලි දිවයින පත්තරේ තියෙනවද (ඇහෙන නෑහෙන ගාණට.. රහසින් වගේ.. ෆට්ට හෙමින්)

ම්හු.......

තව සැරයක් ඇහුවලු..... මුදලාලි දිවයින පත්තරේ තියෙනවද ..........
....

මේක අහපු මුදලාලි  මෙයා දිහා ටික වෙලාවක් බලන් ඉඳල මෙන්න මෙහෙම බෙරිහන් දෙනවලු.

"ඒව නෑ ඕයි මෙහේ."... "යනව යන්න මෙතන වද දෙන්නෙ නැතුව........." කියල දිගට හරහට බණිනවලු..

මෙයාටත් උතුර දකුණ මාරුවෙලා මොකද්ද යකෝ මේ වෙන්නෙ කියල. ඇයි යකෝ කොහේ තියෙන හෙණ ගෙඩියක්ද මේ පාත්වුණේ.

අන්තිමට මොනව කරන්නද.. පොර ඉතින් ෂේප් එකේ මාරුවෙලා ඇවිල්ල.

පස්සෙ තමයි වෙච්ච වැඩේ මීටර් වෙලා තියෙන්නෙ.

ඔය කාලෙ තමයි අර පත්තර වලට හෙන ඩිමාන්ඩ් එකක් තිබ්බ කාලෙ. පත්තර කිව්වෙ අර.. අර.. (ආ ඔය තේරුණේ........ ඒවා තමයි.)

මේකා රහසින් වගේ ඉල්ලනකොට මුදලාලි හිතල තියෙන්නෙ මෙයා පත්තර ඉල්ලනව කියල තමා. ඇයි යකෝ මුදලාලි දන්නවයැ මේකා කතා කරන හැටි මෙහෙමයි කියල.

ඔන්න බලන්න කොල්ලන්ටත් වෙන දේවල්.

Tuesday, September 6, 2011

ෂුවර් ද? සහ තවත් කතාවක්

අනිත් කතාව ඉස්සෙල්ලම

මේකෙත් කතා නායකයා මම වැඩකරන තැන එකෙක්ම තමයි. ඉන්නේ නාවල හන්දියෙමයි. කරීනා එකක් තමා තියෙන්නෙ. (ඔෆිස් එකේ අයට හිතාගන්නයි ඔය ටික දැම්මෙ)

මේකාගේ අයිය ඉන්නෙ ලංකාවෙ නෙමේ. පහුගිය දවසක නිවාඩුවක‍ට තමයි ගෙදර ඇවිල්ලා තියෙන්නෙ.
නිවාඩු දවසක ඇඟටත් හොඳයිනෙ කියල මෙයා හිතුවලු වත්තේ තියෙන තණකොළ ටික ගාණට කාල දාන්න. අහ් සොරි.... සොරි ... කාල දාන්න නෙමේ කපල දාන්න.. 
ඇඟට හොඳයි කිව්වම මතක් වුණේ.. මේකා මේ දවසක් බැට්ම්න්ටන් ගහල හරි පීනල හරි ඒක මතක් කර කර මාස දෙකක් තුනක් හොඳට තෙල් කෑම කන ජාතියෙ පොරක් හොඳද.

ඉතින් මූ යන්තරෙත් අරන් තණකොළ කපනවලු.... 
මේ අතරෙදි මේක ඇහිල අයිය එළියට ඇවිල්ල තියෙනවා. 
අයියව අහල පහල මිනිස්සු වැඩිය දැකල නෑ.. කොටින්ම කිව්වොත් අයිය කෙනෙක් ඉන්නවද කියලවත් දන්නෙ නෑලු. 

ඉතින් අයියටත් හිතිල තියෙනවා වැඩේට පොඩ්ඩක් උදව් වෙන්න. 
මෑන්ස් යන්තරෙත් ඉල්ලගෙන ඔන්න දැන් වැඩේ කරනවලු. 
අපේ එකත් ටික වෙලාවක් ඉඳල ගේ පැත්තට ගිහින් තියෙනවා.

මේ වෙලාවෙ අයිය වැඩේ පොඩ්ඩක් නතර කරල මොනවද බලල තියෙනවා.

දන්නවද මල්ලි කරල තියෙන වැඩේ.. 

මේකා මහ හයියෙන් වටේටම ඇහෙන්න කෑ ගැහුවලු මෙන්න මෙහෙම.

"ඕයි ඔය මොකද කරන්නෙ"......."තමුසෙට සල්ලි දෙන්නෙ වැඩ කරන්න මිසක් නිකන් ඉන්න නෙමේ"....... "වැඩක් කරන්න ආව නම් වෙන වෙන විකාර නොකර ඒක කරන්න පුරුදු වෙනවා".... වගේ අරවද මේවද ගොඩක්..

අහල පහල යන මිනිස්සුත් බලනවලු මේ මොකද කියල. 
ඔක්කොම කට්ටිය ඇත්තටම හිතල තියෙන්නෙ අයිය වැඩ කරන්න ආපු මනුස්සයෙක් කියලයි. 
අයියටත් හිතා ගන්න බැරිවුණාලු මොකද්ද වෙන්න යන්නෙ කියල. ලැජ්ජාවටයි කේන්තියයි හින්ද මුකුත් කතා කරගන්න බැරුව ගල් වෙලා වගේ හිටියලු ටික වෙලාවක්.

ඔන්න ඔහොම මල්ලිල ලැබෙන්න නම් පෙර පින් කරල තියෙන්න ඕනෙ මං හිතන්නෙ.

ඔය කතාව අපිත් එක්ක කිවුවෙත් එයාම තමයි. අයියගෙන් මූට කිසිම කරදරයක් වුණේ නෑලු හො‍‍‍‍ඳද...

ඒ හරිය අහගන්න ඉතින් අයියවම හම්බවෙන්න ඕනෙ.

ෂුවර් ද?

මේක වෙලා තියෙන්නෙ මගෙ යාළුවෙකුගෙත් යාළුවෙකුට. ළඟදි දවසක් කතා කර කර ඉන්න වෙලාවක තමයි කිව්වෙ. ඕනෙ එකක් කියල ලියල දාන්න හිතුවා.

සිද්ධිය වෙලා තියෙන්නෙ දැනට අවුරුදු 6-7 කට කලින්. කැම්පස් යන්න ඔන්න මෙන්න කියල ඉන්නකොටයි. 
දන්නවනෙ ඔය කැම්පස් පටන් ගන්න කලින් තියෙනවා අපේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කරන්න පාඨමාලාවක්... හික්..(ඕකෙන් දැනුම වර්ධනය කරගත්ත එකෙක් ඉන්නවනම් අත උස්සන්න බලන්න)
 
සාමාන්‍යයෙන් ඕක මාස 4 ක් විතර තමා තියෙන්න.  ඊට පස්සෙ ටික දවසකින් තමා ඇත්තටම කෝස් එක පටන් ගන්නෙ. ඉතින් ඔය ද‍වස් කාලසටහන් එහෙම හොයාගන්න වෙන ක්‍රමයක් නෑ කැම්පස් එකට කෝල් කරලම බලන්න වෙනවා. 

ඉතින් මේ කියන එකාත් හොඳට ඒ ලෙවල් එහෙම පාස්වෙලා ෆුල් රෙඩි පිට ඉන්නවලු කැම්පස් යන්න. ඔහොම ඉන්නකොට මේකා ටත් ඕනෙ වුණා ඔය කාල සටහන් දවස් එහෙම හරියටම දැනගන්න.
ආයෙ මොනවද මූ කෙලින්ම කැම්පස් එකට කෝල් එකක් අරගෙන දිගට හරහට විස්තර එහෙම අහනවලු. ඉන්ටෙන්සිව් කෝස් එක පටන් ගන්නෙ කවද්ද. මොනවද බලාගන්න ඕනෙ. අනං මනං ඔක්කොම.

මේ ඔක්කොම අහල අන්තිමට ඇත්තටම සෙමෙස්ටර් එක පටන් ගන්නෙ කවද්ද කියලත් අහල.

ඕකට උත්තරේ දුන්න ගමන් මුගෙ තියෙන පුරුද්දටද කොහෙද එකපාරටම කියවිලා තියෙනවා ෂුවර් ද?” කියල. (ඇත්තටම ඕක අහන්න නොහිතුණා නම් තමයි පුදුමේ)

ඇහුවට පස්සෙ තමයි මූට මීටර් වෙලා තියෙන්නෙ කියවිච්ච වචනෙ. ඒ වෙනකොට එහා පැත්තෙන් ඇහෙනවලු දිගට හරහට බණිනවා... තමුසෙ දන්නවද මේ කතාකරන්නෙ කවුද කියල ත් අහනවලු. 

ෂුවර් එකටම මේකා එක්කෝ නම්බර් එක හරියට බලන්නෙ නැතුව ඩීන් ට වත් ගත්තද දන්නෙ නෑ.
ඇත්තටම මූට ෂුවර්ද කියල කියවිලා තියෙන්නෙ වැරදි අදහසකින් නෙමේ. ඇත්තටම ඉතින් කැම්පස් පටන්ගන්න දවස ෂුවර් කරගන්නයි එහෙම අහල තියෙන්නේ. ඒත් ඉතින් වැරදි හදන්න පුළුවන් වෙලාවක්යැ ඕක. 

මේකා හිමින් සීරුවේ ෆෝන් එක තියල මාරුවෙලා තියෙනවා. 
ඔන්න බලන්න කොල්ලන්ටත් වෙන දේවල්. 
කතා දෙකම ඉවරයි.

Monday, September 5, 2011

හිනාවෙලා යන්න එන්න.

පෝස්ට් එකක් දාන්න හිටියත් ඉවරකරගන්න බැරිවුණා. දැනට මේක කියවල යන්න.

අහඹුව

බාර් එකේ කෙළවරේම ටේබල් එකේ පොරක් හිස් වීදුරුව දිහා බලං ඉන්නව. එතනට එනවා තවත් එකෙක්.

1 වෙනි පොර - මොකද නිකන් අප්සට් වගේ. උඹට තව එකක් අරන් දෙන්නද?

2 වෙනි පොරත් ඉතින් කැමති වුණා.

ෂොට් එක ගන්න අතරෙදි මෙහෙමයි කතාව.

1 වෙනි පොර - උඹ කොහෙද බං?

2 වෙනි පොර - මම ගාල්ලෙ මචන්.

1 වෙනි පොර - යකෝ මාත් ගාල්ලෙනෙ. ගාල්ලෙ කොයි හරියෙද?

2 වෙනි පොර - ගාල්ලෙ රත්ගම බං.

1 වෙනි පොර - පිස්සු හැදෙනවා.. මාත් රත්ගමනෙ බං.

2 වෙනි පොර - විශ්වාස කරන්නත් බෑනෙ බං. උඹ කොහෙද ඉස්කෝලෙ ගියෙ?

1 වෙනි පොර -  *** මචන්.

2 වෙනි පොර - දෙයියන්ට ඔප්පුවෙච්චාවෙ මාත් *** එකෙක් තමා.

1 වෙනි පොර - කොයි කාලෙද බං ඉස්කෝලෙන් අවුට් වුණේ?

2 වෙනි පොර - 2000 දි මචෝ..

1 වෙනි පොර - මේක නම් හිතාගන්නවත් බෑ. මාත් අවුට් වුණේ 2000 දි නෙ යකෝ..

මේ අතරෙදි බාර් එකේ අයිතිකාරයා වේටර් කෙනෙක්ගෙන් අහනවා..

බොසා - සුනිල්.. අතන බෙරිහන් දෙන එවුන් දෙන්නා කවුද බලපන්.

වේටර් - ගණන් ගන්න එපා බොස්. අර පහල ලේන් එකේ වංගුව ළඟ ගෙදර නිවුන්නු දෙන්න අදත් හොඳටම බීල.


********************************************************************

මුගටියා

හන්දියෙ බාර් එකට හිල් විදපු පෙට්ටියක් අරන් මිනිහෙක් එනව. ඒක දැක්ක යාළුවෙක් මෙහෙම අහනව.

යාළුවා - මොකෙක්වද බං මේ පෙට්ටියක දාගෙන උස්සන් එන්නේ.

මිනිහා - මේකා මුගටියෙක්.

යාළුවා - මොකටද යකෝ මුගටියෙක් අල්ලගෙන ආවේ??

මිනිහා - මේකයි. මට වෙරි වුණාම නයි පේන්න පටන් ගන්නවා. මම නයින්ට හෙනම බයයි. ඒක හින්දා ආරක්ෂාවට මුගටියෙක් ගෙනාවේ.

යාළුවා - අනේ මෝඩ යකෝ.. ඉතින් උන් ඇත්ත එවුන් නෙමේ නේ. උඹ හිතාගත්ත එවුන් නේ.

මිනිහා - (පෙට්ටිය ඇරල පෙන්වන ගමන්) ඉතින් මූත් එහෙමම තමයි.

********************************************************************

හොඳ - නරක

රෝගියාට සිහිය  ආපු ගමන් ළඟට ආපු ඩොක්ටර් මෙහෙම කිව්වා.

ඩොක්ටර් - මට ඔයාට කියන්න හොඳ ආරංචියක් සහ නරක ආරංචියක් තියෙනවා. ඉස්සෙල්ලා කියන්න ඕනෙ මොකද්ද?

ලෙඩා - නරක එක ඉස්සෙල්ල කියන්න ඩොක්ටර්.

ඩොක්ටර් - ඇක්සිඩන්ට් එකෙන් ඔයාගෙ කකුල් දෙකටම සෑහෙන්න ඩැමේජ් වෙලා තියෙනවා. ඒක හින්දා කකුල් දෙකම කපන්න වෙනවා.

ටික වෙලාවක් නිශ්ශබ්දව ඉඳල ලෙඩා ඇහුවා මොකද්ද හොඳ ආරංචිය කියල.

ඩොක්ටර් - එහා වාට්ටුවෙ ඉන්න මිස්ටර් සිල්වා කැමතියි ඔයාගෙ සෙරෙප්පු දෙක සල්ලි දීල ගන්න.