Monday, August 8, 2011

අමතක වෙන්නෙ නැති දවස් - තවත්


හේරගෙ මල්ලිගෙ කැම්පස් එකේ බෝඩිමේ හොරෙන් නතරවෙලා අනුරාධපුරේ ඇවිදින්න පටන් ගත්ත හැටි මතක නැත්තම් ඔයාලට මෙතනින් ගිහින් ඒක බලාගෙන එන්න පුළුවන්.

මතකනෙ අපි එදා  රෑ මිහින්තලේ ගිය හැටි. 
ආරාධනා ගලට යන්න කලින් නැවැත්තුවනෙ.. මෙන්න ඒ විස්තරේ. 
(මේ වෙලාවෙ මට මැවිල පේනව මේක කියවන ජානකයගෙ මූණ නිකන් කජු ලෙල්ලක් වගෙ ලස්සන වෙනව). 

ජානකය මේ ආත්මෙදි මස් මාළු(කෑලි) නොකෑවට ගිය ආත්මෙ හෙනට පව් කරපු පොරක්. 
අපේ කට්ටිය කියන විදියට මේකා කරපු පව් වලට දඬුවමක් වශයෙක් පහුගිය ආත්මෙක මූව උස තැනකින් පහළට දාල මරල තියෙනවා. 

ඉතින් ඒ ආත්මෙ එහෙම වුණ හින්ද මේ ආත්මෙදි පොළවෙන් අඩි 2ක් උස තැනකට නැග්ගොත් මුගෙ කකුල් 4 ම පණ නැතිවෙලා කටේ කෙළ හිඳිල තව තව ඒවත් වෙන තත්වෙට පත් වෙනව. මේ වෙලාවට පහළ බලනව තියා ඒ ගැන හිතන්නවත් බැහැ.
ඉතින් මේ වගේ එකෙක්ව මිහින්තලේ ආරාධනා ගල මුදුනට නැග්ගෙව්වොත් කොහොමට හිටීද.

මේ පහළ තියෙන ෆොටෝ එක ගැහුවෙ ගල මුදුනෙදි. ජානකය බය නෑ වගේ පෙන්නන්න උපරිම උත්සාහයක් අරන් තියෙන වෙලාවක. ඕක මොකද්ද මන්දා ෆෝබියා එකක්ලු ඒගැන හෙන විස්තරයක් මෑන් ලඟ තියෙනව ඒත් ඒක කියන්න එන හැමවෙලාවකම වෙන එකෙක් මොකක් හරි ඇදල අරන් ඒක කඩාකප්පල් කරල දාන හින්ද තාම අපි දන්නෙ නෑ ඒ ගැන හරි විස්තරේ.



කොහොමහරි ජානකයවත් අරන් බහිනකොටත් සෑහෙන්න රෑවෙලා තිබුණෙ. ඊට පස්සෙ මිහින්තලේ හන්දියෙ තිබ්බ රෑ කඩේකින් හොඳට කාලා බෝඩිමට ඇවිල්ලා පිස්සු කියෝ කියෝ ඉඳලා නිදාගන්නකොට පහුවදා එළි වෙන්නත් කිට්ටුද මන්දා...

පහුවදා ප්ලෑන් එක තිබ්බෙ බයිසිකල් වලින් මුළු අනුරාධපුරේම කවර් කරන එක. මිහින්තලේ ඉඳන් අනුරාධපුරේට කිලෝ මීටර් 12 ක් විතර ඇතිනේ. 
අපි උදෙන්ම පාරට බැස්සා... කෙලින්ම නැවැත්තුවෙ නුවර වැවේ. 
නුවර වැවේ වපසරිය අක්කර 2956 ක් ඒ වගේම අක්කර අඩි 36050 ක ජල ධාරිතාවයක් තියෙනවා. අනුරාධපුරේ ප්‍රධාන නුවරට කිට්ටු නිසාලු නුවර වැවට ඒ නම ලැබිල තියෙන්නෙ.

නුවර වැවේ අසිරිය මෙන්න...









නුවර වැවේ බන්ට් එක දිගේ ගිහිල්ලා අපි පූජා නගරයට ඇතුළු වුණා. මේ තියෙන්නෙ ඒ හරියෙ පින්තූර.
ඔය ඉන්නෙ අපි බයිසිකලුත් එක්කම....





මේ පහළ තියෙන පින්තූරෙ තියෙන්නෙ ඇත් පොකුණ. 
මේක තමයි ලංකාවේ විශාලත්වයෙන් දෙවැනි ගලින් කරවන ලද පොකුණ. 
ඔන්න දැනගන්න විශාලම පොකුණ තියෙන්නෙ රිටිගල.



මේ පින්තූරෙ තියෙන්නෙ අභයගිරි දාන ශාලාවෙ බත් ඔරුව. කොහොමද සයිස් එක. මේකෙන් අනුමාන වශයෙන් 5000 කට වැඩි ප්‍රමාණයක් දෙනෙකුට බත් බෙදන්න පුළුවන්ලු.. ඒ කියන්න අභයගිරියෙ විතරක් ඒ දවස්වල ස්වාමීන් වහන්සේලා 5000 කට වැඩිය වැඩ ඉඳල තියෙනවා.



මේ තියෙන්නෙ ලංකාරාම වෙහෙර.



ඔන්න ඔතනදි තමයි තව රසවත් සිද්ධියක් වුණේ. 
කොහෙන්ද මන්ද අමුතු කික් එකක් ආපු ඉසුරුව යි තව එකෙකුයි හෙන කටුගාලක බයිසිකල් පැදලා. 
බයිසිකල් දෙකේ රෝද 4 ම පැච්....
හයියෝ මුන් කරන වැඩ.. 
දැන් ඉතින් හොයහල්ලකො මේ පූජා නගරෙ පැච් දාන්න තැනක්. 
එහෙන් අපිට නාන්න වැව්ගත වෙන්නත් හොඳටම ප්‍රමාදයි.
කොහොම  කොහොම හරි අපේ හොඳවෙලාවට පැච් දාන සීය කෙනෙක් හම්බවුණා වැඩි දුරක් නොගිහින්ම.

ඔන්න දැන් සීය පැච් දානවා... 
එකක් දානවා වතුරෙ ඔබනවා .... තව එකක් හොයාගන්නවා..
එකක් දානවා වතුරෙ ඔබනවා .... තව එකක් හොයාගන්නවා..
දැන් මේ සීන් එක ඉවර වෙන පාටක් නැහැ.. ඒත් මොනව කරන්නද ඔක්කොම නොදා හුළං ගහන්නයැ..

අන්තිමට බලනකොට ඉසුරුවගෙ බයිසිකලේ පැච් 11ක්.

මෙන්න පැච් දාන සීයා සහ සීයට හෙල්ප් එක දෙන ඉසුරුවා...





ඒ වෙලාවෙ මූ එක්ක ආපු කේන්තිය නම් කියල වැඩක් නෑ.. 
ඇයි යකෝ නාන්න තියෙන වෙලාව නේද මේ නිකන් නාස්ති වෙන්නෙ..

කොහොමහරි පැචුත් දාගෙන කට්ටිය කෙලින්ම තිසා වැවේ.

මේ ඉන්නෙ තිසා වැවේ දිය කෙලින අපි..



මේ තියෙන්නෙ ඉර බැහැගෙන යන වෙලාවෙ තිසා වැවේ දිය තලය. කොච්චර සුන්දර දර්ශණයක්ද...


ඉසුරුමුණිය..


අපි ඉසුරුමුණියට එනකොට කළුවරත් වැටිලා.. කැමරාවෙ බැටරිත් ඉවරයි... බඩත් ගිනී..
දැන් ආපහු මිහින්තලේට පදින්න එපයි..

මෙන්න බොලේ ඒ අස්සෙ හේරා බෙරිහන් දෙනවා.. 
මාමලගෙ ගෙදර යන්... මාමලගෙ ගෙදර යන්... එහෙන් කාලම යන්න පුළුවන් කියල.. 
මෙන්න යකෝ මුගෙ මාමෙක් අනුරාධපුරේ. 
අනේ මන්ද මූ කොළඹ.. ගෙවල් දියතලාවෙ.. මල්ලි මිහින්තලේ... මාමෙක් නුවර වැව ඉස්සරහින් යන පාරක..

අපිත් ඉතින් මාම පව් නේද කියල හිතල කෑම ලෑස්ති කරන්න කියල කෝල් එකක් දුන්නා. ගිහින් බඩ පැලෙන්න කාලා එහෙම ආපහු පිටත් වුණා.

මේ දවස්වල උතුරෙ යුද්ධෙ සැරටම ගිය කාලෙ. රෑ 10 ට විතර ඇති. පාරෙ මොකෙක්වත් නැහැ...
ඒ අස්සෙ කරන්ට් එකත් ගියා.. ගියාද නැත්නම් යැව්වද දන්නෙ නැහැ.. 
අර කුරුම්බැට්ටි මැෂින් යන එන කාලෙනෙ..

අපිත් ඉතින් වීරයො වගේ කාපුව බහින්නත් එක්ක පදිනවා..

හෆොයි එකපාරටම බල්ලෙල් ෆෝම් වෙලා අපි පස්සෙන් එළවන්න පටන් ගත්තේ නැතැයි.. 
ඊට පස්සෙ උගෙ පස්සෙන් උගෙ මුළු බලු සෙට් එකම....

මම නම් ජිවිතේට දැකල නැහැ ඒවගේ ගටක් තියෙන බල්ලෝ සෙට් එකක්. 
මුන් කිලෝමීටරේකට පොඩ්ඩක් අඩු දුරක් වගේ අපිව එළෙව්වා. 
එව්වා කොහෙද අපිත් එක්ක. අපේ සෙට් එකේ හිටියෙ උන්ට වඩා සෑහෙන්න අණ්ඩපාලයෝ.

අන්තිමට බල්ලො එකා දෙන්න ගේම අතෑරියා.. ලයිටුත් ආවා.. අපි මිහින්තලේටත් කිට්ටුකරලා... 

ඒ දවසත් ඉවරෝ................

අන්තිම දවසෙ නම් වැඩිය කියන්න දෙයක් නැහැ. අපි කළුදිය පොකුණ පැත්තෙ පොඩි වටයක් ගැහුවා.



එන්න මොහොතකට පෙර...


ට්‍රේන් එක තිබ්බෙත් 2 පහුවෙලා. අපි ස්ටේෂන් එකට ඇවිත් කාලා එහෙම එන්න සෙට් වුණා.
ඔන්න ඔහොම තමයි අපේ ජීවිත වලට තවත් අමතක නොවන අත්දැකීමක් එකතු වුණේ.

ජානකය මාව මැරුවෙ නැත්නම් තව ට්‍රිපක් ගැන පෝස්ට් එකක් දාන්න පුළුවන්වෙයි කියල හිතෙනවා.....

10 comments:

  1. එල එල පට්ට ෆන් එකක් අරන් තියෙනව මල්ලිලා ඒ කාලෙ...
    ඒක නෙමෙයි අර පැච් 11 ක් යන්න සයිකලේ පැද්ද පොර ඇත්තටම කොහොමද ඕක කරගත්තෙ???

    ReplyDelete
  2. හෙක් හෙක් බලාගන ගියාම අනුරාධපුරෙත් ඉන්නෙ සෑහෙන ගටක් තියන බල්ලොනේ 2කි.මී. විතර පස්සෙන් එලවන්න. :O

    අන්තිම පින්තූරෙ නටන්න ලෑස්තිවෙලා වගේ ඉන්නෙ ඔයාද?

    නියම ට්‍රිප් එකක්,ගොඩක් විනෝද වෙන්න ඇති.

    ReplyDelete
  3. ගීතක - ඒ කාලේ නම් ෆන් එමටයි. මේ කාලේ ෆන් නම් ඔයා දන්නවනේ.
    ඌ මේ නෙරෙංචි ගාලකද කොහෙද ගිහිල්ලා.

    නදී - ඔව් ඔව් බල්ලෝ උනත් රජ බලු පරම්පරාවකින් පැවතෙන බල්ලෝ වෙන්න ඕන නේ. නෑ නෑ නටන්න වගේ ඉන්නෙ හේරාගෙ මල්ලි. කළු ටී ෂර්ට් එකක් ඇඳන් ඉන්නෙ මම 2008 දී. හි හී...

    ReplyDelete
  4. ටක්කෙටම ඔය පහුගිය ආත්ම කතාව අපේ හරක්දන වජිරක්ඤාණ වදාරන්න ඇති. ඔය බල්ලන්ට පින්සිද්ධ වෙන්න තමයි උඹ හරියට බයිසිකල් පදින්න ඉගෙන ගත්තෙ.

    ReplyDelete
  5. එල ට්‍රිප් එකක්නෙ..නියමෙට කතන්දරෙ හදල තියෙනව..පින්තූර ටිකත් එල.. ජනක නැත්නම් ට්‍රිප එච්චරම ෆස්ට නොවෙන්නත් තිබ්බයි කියලයි මට හිතෙන්නෙ..

    ReplyDelete
  6. නියම ට්‍රිප් එකක් නේ. මේවා දැක්කම මාර ආස හිතෙනවා. හුග දවසකින් ගෙයින් පිට ගිහින් නෑ.

    ReplyDelete
  7. යකෝ මෙන්න නුවන් බ්ලොග් එකක් ලියනවා .. මම අදයි දන්නේ ! ඔන්න මමත් එල්ලුනා ..

    ReplyDelete
  8. ඇනෝ - හික් හික්....

    Weni - ඔව් ඔව් ජානා කියන්නේ ෆන් ලෝකයක්.

    මධුරංග - මේ කාලේ ගියොත් තමයි කොල්ලෝ.....

    හිස් අහස - සඳරු මලය ආවෙ නැද්ද කලින් මේ පැත්තේ. මට මතක ආවා වගෙයි...

    ReplyDelete
  9. ඔන්න බලපං ඉතිං. දැක් මමත් මේ ගමන යන්න එපැයි. හයියෝ උඔනම්!!! :D

    ReplyDelete
  10. "කොහෙන්ද මන්ද අමුතු කික් එකක් ආපු ඉසුරුව යි තව එකෙකුයි හෙන කටුගාලක බයිසිකල් පැදලා" meka kiyawla athi wenna hinaa wunaa :D

    ReplyDelete

කමෙන්ට් එකකුත් දාලම යන්න.