Monday, December 6, 2010

උතුවන්කන්දෙ ඉඳන් බෝ ඇල්ලට.

ඔන්න මම දැන් කලින් බ්ලොග් එකේ ඉතුරු ටික තමයි කියන්න යන්නේ. ඒක බලපු නැති අය දැන් පේළියක් හැදිල ගිහින් මෙතනින් උතුවන්කන්දට නැඟපුහැටි බලාගෙන එන්න.

මතක ඇතිනේ කට්ටියට අපි කන්දෙන් පහළට බැස්ස කියල. ඔන්න දැන් බෝ ඇල්ල හොයාගෙන යන්න තමයි අපේ කල්පනාව. හැබැයි කවුරුත් දන්නෙ නැහැ කොහොමද යන්නෙ කියල. ඔන්න දැන් අපි බලාගෙන ඉන්නෙ පාර අහගන්න කවුරුහරි එනකම්. ආ.. අමතක වුණානේ වජිර දැනගෙන හිටියා ආපහු නුවර පාරට ඇවිල්ල බෝ ඇල්ලට යන පාරක්. ඒත් අපි හිතුවෙ උතුවන්කන්දෙ ඉඳල ෂෝට් කට් එකක් ඇති කියලයි. මෙහෙම ටික වෙලාවක් යනකොට ඔන්න එනව බොලේ ආච්චි කෙනෙක්. ජානකය පැනල ඇහුව ආච්චියෙ ඇල්ලට යන්නෙ කොහොමද කියල. ආච්චි කියපි අනේ පුතේ තව ටික දුරයි තියෙන්නෙ ඔන්න ඔහොම ඉස්සරහට යන්න කියල. ඒ අස්සෙ කැළුමද කොහෙද ඇහුව ආච්චියෙ කීය විතර වෙනකොට යන්න පුළුවන් වෙයිද කියල. කිව්වෙ නැතෑ ආච්චිත් අනේ පුතේ එච්චර වෙලාවක් යන්නෙ නැහැ දෙක විතර වෙනකොට යන්න පුළුවන් කියල. කිරි අප්පට බල්ලො පැනපි දැන් වෙලාව එකොළහ මාරයි. කට්ටිය මූණු ඇඹුල් කරගෙන හා ආච්චියෙ කියල ඔන්න ආච්චිව නිදහස් කළා. මේ වැඩේ හරියන්නෙ නැහැ කියල ආපහු වජිර දන්න පාරෙන්ම යන්න අපි අන්තිමට තීරණය කළා. එතකොටම අර පොඩ්ඩක් නතර වෙලා තිබ්බ වැස්ස ආපහු වහින්න පටන් ගත්තා. හොඳ වෙලාවට එතනම තිබුණ පරණ ඉස්කෝල ගොඩනැඟිල්ලක්. සරදියෙල් අකුරු කරපු ඉස්කෝලෙද මන්දා. කට්ටිය දඩිබිඩි ගාල ඒකට රිංග ගත්තා. ම් ම් ම්.. මෙන්න බොලේ කුරුටු ගී. දවසක් කියවන්න පුළුවන් තරමට බිත්තිපුරාම කුරුටු ගී. වැස්ස පායනව දැනුණෙවත් නැහැ.



අපි දැන් ආපහු නුවර පාරට ගාටනවා. අර ආච්චි කියපු පාර නෙමේ හොඳේ. මේ කියන පාරෙ විස්තරේ මෙහෙමයි. උතුවන්කන්දෙ ඉඳල නුවර පාරට ඇවිල්ල මීටර් 700 ක් විතර නුවර පැත්තට එන්න ඕනෙ. එතකොට හම්බවෙනවා වම් පැත්තට තාර දමාපු අතුපාරක්. මේ පාර දිගේ දිගටම යන්න ඕනෙ කිලෝමීටරයක් විතර. ආපහු පාර දෙකට බෙදෙනවා එතනින් වමට හැරෙන්න. තවත් කිලෝමීටරයක් විතර වගේ යනකොට තියෙනවා තුන්මං හන්දියක්. වාහනයක යනව නම් එතනින් වමට යන්න. නැත්නම් දකුණට තියෙන පාරෙන් ගිහින් ඇල්ල පහළින් මතුවෙන්න පුළුවන්. අපිත් මේක දැනගත්තෙ ගියාට පස්සෙයි. කට්ටියගෙ තීරණය වුනේ ඒ පාරෙන් යන්නයි. වටේ පිටේ අයගෙත් උදව් ඇතුව පාරවල් හොයාගෙන ඔන්න කොහොම  කොහොම හරි ඇල්ලෙ සද්දෙ ඇහෙන මානයට අපි ළඟාවුණා. එතන ඉඳන් සද්දෙ ඇහෙන පැත්ත ට ගස් ගල් උඩින් තමා ගමන. ඔයට බැහැල ඉහළට ගල් උඩින් යන්න ඕනෙ. මේ අස්සෙ ජලා (මුගෙ නමට මුලින් තව කෑල්ලක් තියෙනවා. ඒක කියන්න බැහැ) මුගෙ සෙරෙප්පු දෙකින් එක්ක වතුරට වට්ටගෙන. ඒක වතුර පාර දිගේ වේගෙන් පහළට යනවා. හේරා සෑහෙන දුරක් ගිහින් තමයි යන්තම් සෙරෙප්පුව හොයාගෙන ආවේ.

මෙතන ඉඳල අපි දැකපු සුන්දරත්වය නම් ඉතින් විස්තර කරන්න මට වචන මදි. ඒ තරමටම ලස්සන පරිසරයක්. දැක බලාගන්න ඔන්න මම පින්තූර කීපයක් දාන්නම්. තාමත් අපි ඇල්ල පටන් ගන්න තැනට ආවේ නැහැ. පහළ ඉඳන් උඩට නඟින ගමන් ගත්තු ෆොටෝ කීපයක් තමයි මේ. නිවාඩු පාඩුවේ ඇවිත් දවසක් ගත කරල යන්න කියාපු තැනක් තමයි මේ බෝ ඇල්ල.




ඉහළට යනකොට බලාගන්න පුළුවන් ලංකාවේ විශාලතම ස්වභාවික තටාක අතුරින් එකක්. හැබැයි පුතෝ මෙතන නාන්න නම් එපා. සෑහෙන භයානක තැනක්ලු මේ ළඟදිත් නාන්න ආපු කෙනෙක් මැරුණ කියල වජිර කිව්වා. ඒක හින්දා ඇස් දෙකෙන් විතරක් ලස්සන විඳ ගන්න එක හොඳා. අපි ගිය දවසෙ වතුර පාර ටිකක් අඩු වුණාට දෙපැත්තෙ තිබුණ වතුර පාරෙ සැරට නැවිල ගිය ගස්වල අතුවලින් හිතාගන්න පුළුවන් වුණා වතුර පාරෙ තරම.උඩට ගිහින් ගත්ත පින්තූර වලින් ටිකක් මෙන්න.




පැය 2ක් 3ක් විතර ඉඳල ඔන්න දැන් අපි ආපහු එන්නයි සූදානම. ආපහු ආවෙ නම් ඇල්ලට යන්න තියෙන නීත්‍යානුකූල පාර දිගේ. ඇල්ල ළඟ ඉඳලම වාහනයකිනුත් එන්න පුළුවන්. එහෙම ආවත් ටික දුරක් ඇල්ල පහළට බහින්න අමතක කරන්න එපා.



කොහොමහරි ඔන්න අපි පයින්ම අපි ආපහු අර අන්තිමටම හම්බවුණු තුන්මන් හන්දියට ආවා. මෙන්න බොලේ සෑහෙන්න සුභ ආරංචියක්. මෙතන ඉඳන් බස් එකක් තියෙනවලු නුවර පාරට එන්න. කියල වැඩක් නැහැ පයින් ඇවිල්ලම සෑහෙන මහන්සි වෙලයි තිබුණේ.

හැබැයි දැන් එකදෙයක් අඩුයි. අපි නෑවෙ නැහැනේ. දැන් ඉතින් නාන්න තියෙන එකම ස්පොට් එක තමයි වජිරල ගෙ ගෙදර ළඟින් ගලා බහින ඔය පාර. මේක තමයි අර අලි අනාථාගාරයෙ අලි නාවන ඔය. ම්ම්ම් නම නම් මට දැන් මතක නැහැ. දැන් කෙලින්ම එහෙට තමයි. නාලා ඉවරවෙලා වජිරගෙ ගෙදරින් බඩ පැලෙන්න කාලා තමයි අපි ආපහු ජලාගේ වෑන් එකෙන් කොළඹ බලා පිටත් වුණේ. පහුවදා ඉඳල කට්ටියටම ආපහු දවසම මොනිටරේ දිහා බලාගෙන ඉන්න රස්සා තියෙනවනෙ. මොනව කරන්නද කියල හිත හදාගෙන ආවා ඉතින්.

මේ පාර පොඩ්ඩක් වැඩිපුර විස්තර ඇතුව දැම්මා ඕං. යන කස්ටිය ඉන්නවනම් හොයාගෙන යන්න පුළුවන් විදියට.

9 comments:

  1. මම බලාගෙනයි උන්නේ.. හ්ම්

    ReplyDelete
  2. එල මචං නියමයි

    ReplyDelete
  3. shaa Kalumath innawa..ela ela

    ReplyDelete
  4. @සරදියෙල් - හ්ම්.. හ්ම්..

    @gayanasa - තැංකූ තැංකූ

    @Anonymous - ආ කොහොමද කැළුමෝ.

    ReplyDelete
  5. අඩෝ කැලුමා උඹ..

    ReplyDelete
  6. නියම සංචාරේ !!!!! පොඩි නිවාඩුවක් ගත කරලා එන්න නම් කියාපු පොට් එක. හැමදාම අගල් 14ක මොනිටරයක් දිහා බලාගෙන ඉන්න ජිවිතෙන් මිදිලා පොඩ්ඩක් පරිසරයේ සුන්දරත්වය විදින්න තියෙනවනම් කියලා හිතෙන්නේ මෙහෙම ගමන් ආපුවාමයි. නියමයි අය්යා, දවසක ඔය පැත්තේ ගිහින් එන්න ඕනේ කියලා හිතුවා. ආහ්.... පොඩි දෙයක්. අර වහලා දාල තියෙන ඉස්කෝලේ හරහා ගියොත් ගොඩක් දුරයි කියලා කීවද ??? ඒ පාර කලේ මැද්දෙන් වැටිච්ච අඩි පාරක් ද ??? එහෙමනම් දුර වැඩි උනත් ඒ පාර ලස්සන ඇති නේ!!! අයෙත් ඔයවගේ ට්‍රිප් ගියොත් ඒවත් බ්ලොග් එකේ දාන්න අයියා.

    ReplyDelete
  7. @මධුරංග - ඔව් ඔව් මෙතන නම් ඒ වගේ දේකට කියාපු තැන. වැඩිපුර සෙනඟ එක තැනකුත් නෙමේ මම හිතන්නෙ.
    උතුවන්කන්දට යන්න කොහොමත් අර වහලා දාල තියෙන ඉස්කෝලේ ළඟට එන්නම වෙනවා මල්ලි. එතනින් දෙපැත්තෙන් කොයි පැත්තට ගියත් බෝ ඇල්ලට යන්න පුළුවන්. ඒත් ඉතින් අනිත් පාර ඉස්සරහට කොයිවගේද කියල නම් කියන්න දන්නේ නෑ.

    ReplyDelete
  8. ඇල්ලේ නාන්නත් පුළුවන් උණා නම් මරේ මරු.. ඔච්චර දුරක් ගිහින් නොනා එන්න හිත හදාගන්න නේ බැරි...

    ReplyDelete
  9. පැතුම් - නාන්න තිබ්බ නම් මරු ඒත් ඔතන නාන එක භයානකයි කිව්ව හින්ද තමා නෑවෙ නැත්තෙ. අනික අලි නාවන ඔයෙන් නාන්න තමා ප්ලෑන් කළේ.

    ReplyDelete

කමෙන්ට් එකකුත් දාලම යන්න.